ඔවුහු නිවන් දැක නැති නිසා බොහෝ විට දෙන උත්තරය " නිවන් දැක්කොත් කාටවත් කියන්නේ නැහැ" යනුයි. ඇත්ත වශයෙන් එසේ නොකියන ලෙස බුදුහිමියන් කොහෙවත් ප්‍රකාශ කොට නැත. එවැන්නක් පොත්වල ලියා ඇති නම් ඒ හාමුදුරුවරුන්ගේම ප්‍රකාශ විනා බුදු වදන් නොවේ. බුදුන් වහන්සේට තමා බුදු වූ බව පස්වග තවුසන්ට දිවුරා ප්‍රකාශ කිරීමට සිදු විය. එසේම කිසිම මාර්ගඵල ලාභියකුගෙන් සත්‍ය සොයාගෙන යන කෙනෙක් ඇසූ විට මාර්ගඵලයක් නොලැබුවා යැයි පෙර සිටි රහතුන් වහන්සේලා නොකීවේ නම් අද ඉතිහාසයේ රහතුන් සිටි බව අපි නොදනිමු. එවැනි ඉතිහාසයක් දැනදැනත් "බුදුහාමුදුරුවෝ කාටවත් කියන්න එපා කියා තිබෙනවා" යැයි ප්‍රකාශ කිරීම මහජනයා රැවටීමකි.
දසධම්ම සූත්‍රයේ දහවැනි ගාථාවේ "ඔබ උත්තරීතර මාර්ගඵලයක් ලැබූ කෙනෙක්ද යැයි යම් සත්‍ය සොයා යන්නෙකු ඇසුවොත් නොකියා ඉන්න එපා" යයි බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කර තිබියදී ඇත්ත කීමට මැළි වන්නේ ඇයිදැයි හාමුදුරුවන්ගෙන් දැන් ඇසිය යුතු කාලයකි.
මේ හාමුදුරුවරුන් අතර "යම් තැනකට මා පැමිණ ඇත" යි ප්‍රකාශ කරන හාමුදුරුවරුද ඇත. ඒ තැන කුමක්දැයි ඔවුන් කියා නැතත් ඔවුන්ගෙන් ප්‍රශ්නකොට එය දැනගත යුතුය. කිසිම කෙනකු යථා භූත ඥාන දර්ශනය නොදක නිවන් දැකීමක් සිදු වූවා යැයි කීමට ඉඩ නොදිය යුතුය.
තවත් හාමුදුරුවරු නිවන් " අවබෝධ" කළා හෝ " නිවන් අවබෝධ කරන"දෙයක් යැයි ප්‍රකාශ කරති. ඔවුන් "අවබෝධ" යැයි කියන්නේ නිවන් දැක නැති නිසා බව දැනගත යුතුය. නිවන අවබෝධ කළ හැකි දෙයක් නොවේ. නිවන ප්‍රඥා ඇසින් දකින දෙයකි. "අවබෝධ" යනු මනසින් දැනගැනීමයි. නිවන ගැන මනසින් දැනගත නොහැක. කොයිතරම් ගැඹුරට කල්පනා කළත් මනස දන්නේ මායාවක් මැවීමට පමණි. ඒ මනසින් නිවන් "අවබෝධ" කළ අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුය. එය තමන්ගේ ජීවන ක්‍රමය සකසා ගැනීමට කියන්නට වුණු අසත්‍යයකි. ප්‍රඥා ඇසින් හැර වෙන මොනයම් ක්‍රමයකින් හෝ නිවන ගැන දැනගත නොහැක.
බ්‍රාහ්මණ ආගම්වල "අවබෝධ" උසස් තැනකි. නමුත් එය බුද්ධ දර්ශනයේ අතහැරිය යුතු පහත්ම තැනකි. මනසින් නික්මීම බුදු පණිවුඩයේ මූලික උපදෙසයි.
"මේ ජීවිතයේ නිවන් දකින්න බැහැ" යන ප්‍රකාශය හාමුදුරුවරු දැන් අතහැර ඇත. දෙව්ලොව ගොස් “දෙව්මිනිස් සැප කෙළවර නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණ මෛත්‍රී බුදුන් දැක අමාමහ නිවන් දකිත්වා" යන බණකදී අසන්නට ලැබෙන අවසාන පදය අද බණවල නැත. මෛත්‍රී බුද්ධ සංකල්පය බුද්ධඝෝෂ හිමියන්ගෙන් පසු ලංකාවේ මතුවුණු අදහසක් පමණක් බව දැන් පැහැදිළිය. බුද්ධඝෝෂ කාලයට පෙර ලියූ පොත්වල මෛත්‍රී බුද්ධ සංකල්පය නැත. බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණියේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දාහකට පමණ පසුය. "සන්දිට්ටිකො" වශයෙන් "මේ දැන්" නිවන් දැකිය හැකි බව බුදුන් වහන්සේ පුනපුනා කියා තිබියදීත්, මේ ජීවිතයේ නිවන් දකින්න බැහැ යැයි කියා මහජනතාව අවුරුදු 2100ක්ම කල් කළ රැවටීම විශාල වරදකි.
මෛත්‍රී බුද්ධ සංකල්පය හාමුදුරුවරු ළඟදී අතහැර ඇතත්, අතහැරියේ ඇයිදැයි ඊට පසු මහජනයාට නොදැනුවත් කිරීම ඊටත් වඩා වරදකි. මෙපමණ කල් ඔවුහු දේශනා කළ දේ වැරදි බව නොදැන මහජනතාව තවමත් මෛත්‍රී බුදුන්වහන්සේ හමුවීමට බලාපොරොත්තු වෙති.
අවුරුදු 1600ක් පමණ පැවත ආ මෛත්‍රී බුද්ධ මිත්‍යාව මෙසේ අවසන් වී ඇත.
මෑත කාලයේදී සත්‍යය, එනම් බුද්ධ ධම්ම දැකීම විවෘත වී ඇති හෙයින් හාමුදුරුවරුන්ටද මෙසේ වෙනස් වීමට සිදු වී තිබෙන බව පැහැදිළිය. කලින් කලට මතුවන මතවාද අනුව බුද්ධ දේශනය වෙනස් කිරීම ඉතා භයානක තත්ත්වයකි. පසුගිය අවුරුදු 2100 තුළ එක හාමුදුරු කෙනෙක්වත්, ඔවුන්ගෙන් බණ ඇසූ කිසිවෙකුවත් නිවන් දැක නැත්තේ පූජ්‍ය පක්ෂය විසින් කල මෙවැනි විකෘති කිරීම් නිසා විය හැක.
කර්මඵලවාදය නිඝන්ථවාදය යැයි බුදුන් වහන්සේ දෙවුදහ සූත්‍රයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදීත් එය බුදුවදන යැයි අවුරුදු දෙදහසකට අධික කාලයක් මහජනතාව රැවටුවේ කෙසේද?
දාන, සීල, භාවනා තුළින් නිවන් නොදකින බව දම්සක්පැවතුම් සූත්‍රයේ දේශනා කර තිබියදීත් අවරුදු 2100ක්ම මහජනතාව ඒවාට පොළඹවා ගත්තේ කෙසේද?.
මෙවැනි ප්‍රශ්න දැන් හාමුදුරුවරුන්ගෙන් ඇසිය යුතු කාලයකි.
එසේම පුනරුප්පත්තිය, දිව්‍යලෝක, අපාය දැන් බුද්ධිමත් ජනතාව විශ්වාස නොකරති. පාසල් යන කාලයේ සිටම මොළ සෝදා එවැන්නක් බුදු පණිවුඩය යැයි රැවටීම වැඩිකල් නොගොස් අවසන් වනු ඇත.
- රාහුල තෝරදෙණිය -
0 comments :
Post a Comment