ඉතිකින් අපට සැප නම් දැක්මමයි නුඹේ.. - උසාවි සාවිය 4

ඉතිකින් අපට සැප නම් දැක්මමයි නුඹේ.. - උසාවි සාවිය 4

මෙදා ගිහි අපට මෙන්ම එදා යතිවරයකු වූ සිරි රහල් හිමියන්ටත් පරෙවි සුමිතුරු ඇසුර මිහිරක් මැ වූ බව පරෙවි සංදේශය ඇසුරු කිරීමේදී ඉස්මතුව දැනෙයි. සැබැවින් ම මේ නම් අපගේ මනදොළ සපුරන්නා වූ මිහිරි මතකයක ඉමිහිර කිතිකවන්නා වූ මොහොතක් වන්නේ මැ යි. කොළඹ වතු ජානපදිකයන්ගේ විනෝදාස්වාදන ක්‍රියා අතර මුල් තැන ගත් පරෙවියන් ඇති කිරීම පිළිබඳ මගේ මතකය බොහෝ සුන්දර ය. සන්තබස්තියම් වීදියේ විසිහතේ වත්තේ ගෙවුණු මගේ බාල කාලයේ සොඳුරුතම මතක සැමරුම් අතර පරෙවියන් පිළිබඳ මතකය පෙරමුණේ තිබෙන්නකි.

නිදුකින් අවුද සකිසඳ අතර මග නුබේ- ඉතිකින් අපට සැප නම් දැක්ම ම යි නුඹේ..”

ඉංග්‍රීසි පාලන යුගයේ කොළඹ වරාය හා සම්බන්ධව ඉදි කළ “චාමර්ස් ”වැනි බඩු ගබඩාවල ද “ඉන්දියන් ගූඞ් ෂෙඞ්ස් ” නම් ලත් දුම්රිය ගබඩා අංගනයේ ද, මුස්ලිම් පල්ලි ආශ්‍රිත කවුළු සහිත උස් ගොඩනැගිලිවල ද පරෙවියෝ බහුල ව ලැගුම් ගෙන සිටියහ. අද චාමර්ස් ධාන්‍යාගාරය නැතත් එදා එහි උන් පරෙවි පරම්පරාවේ නූතනයෝ කොටුව දුම්රිය පොළ, වරාය ආදි තැන් කරා විතැන් ව සිටිති. කොළඹ පුරහල සමීපයේ ඇති “දවටගහ පල්ලියේ”, කොළඹ 12 “මුවර් වීදිය” ඇතුළු පැරණි මුස්ලිම් පල්ලි ඇසුරේ අදටත් පරෙවියන් බහුලව එකතු වී සිටිනු ඔබට දැකිය හැකි ය.

මෙලෙස පොදු ස්ථාන සිය ලැගුම් භූමිය ලෙස තෝරාගත් පරෙවියන් “කොමන්නු” ලෙස හඳුන්වති. ඒ common වචනයෙන් බිඳී ආවකි. common යන්නෙන් “පොදු” යන්න අරුත් ගන්වයි. මෙලෙස පොදු අර්ථයකින් පරෙවියන් හඳුන්වන්නට ඇත්තේ සමූහ වශයෙන් නිදහසේ රැස්ව සිටින්නෝ වන බැවින් විය යුතු ය. මේ වදන ඇසුරෙන් කොළඹ නාගරික බැවහරය තුළ “කොමනා”, “කොමනා වගේ ” යන වදන් භාවිත වූයේ පරෙවියන්ගේ හැසිරීම් රටාව මිනිසාගේ හැසිරීම් රටාව හා බද්ධ කොට ගැනීමෙනි. “කොමනා” හඳුනා ගැනීම පහසු ය. උන් හැමෝම පාහේ කළුවට හුරු අළු පැහැයෙන් යුක්ත ය. බෙල්ලේ නිල් දම් පැහැ මිශ්‍ර වූ වර්ණයෙන් යුතු පෙඳ බහුල ව තිබේ. කුරුල්ලා කිරිල්ලියට වඩා ප්‍රමාණයෙන් විශාල ය. උන් බොහෝ විට ඉහළ අහසේ ඉගිලී නොයති. පියසැරිය ද වේගවත් ය. එක අන්තයක සිට තවත් අන්තයක් කරා එකම රිද්මයක වේගයෙන් පියඹා යනු විනා උන් ඉහළ අහසේ පියාසර නොකරති. වැඩක් ඇතත් නැතත් වේගයෙන් ඇවිද යන මිතුරකු දුටු විට කිසිවෙකු “කොහෙද බං කොමනා වගේ දුවන්නෙ.?” “මූත් හරියට කොමනා වගේනෙ..” යයි අසන්නේ-කියන්නේ කොමනාද ඉක්මන්කාරයකු නිසාය. කොමනා කූඩු කර රැක්ම අසීරු ය.

60 දශකයේ අගභාගය හා හැත්තෑව දශකයේ මුල් භාගය හා බද්ධ මගේ මතකය නිවැරදි නම් කොළඹ සෑම වත්තකම පාහේ අවම වශයෙන් එක් පරෙවි කූඩුවක් හෝ තිබිණ. සමහර වතුවල ඒ තත්ත්වය කූඩු දෙක තුන දක්වා පළල් වුවකි. බොහෝ විට මේ කූඩු ඇත්තේ වත්තක අනිවාර්ය අංගයක් වූ පොදු වැසිකිළි පෙළ සමීපයේ ය. නැතහොත් වැසිකිළි පෙළට අයත් කොන්ක්‍රිට් තට්ටුව මත ඇති ජල ටැංකිය සමීපයේ ය. මන්ද සෑම වත්තකම වඩාත් ඉඩකඩක් ඇත්තේ එම භූමියේ වන බැවිනි. සමහර ගේ දොරකඩක කූඩු නොතිබුණාම නොවේ.

විසි හතේ වත්තේ ද පරෙවි කූඩුවක් තිබුණේ ය. එක් යුගයක ස්ථාන දෙකක කූඩු දෙකක් ලෙස තිබුණු බවත් මතක ය. මේ පරෙවි කූඩුවේ විවිධ පන්නයේ, විවිධ වර්ගයේ, විවිධ හැකියාවන් ඇති පරෙවියෝ සිටියහ. සුදු, අළු, කළු, පුල්ලි, දුඹුරු, කළු සුදු මිශ්‍ර සහ දුඹුරු සුදු මිශ්‍ර මේ පරෙවියන් මනා කඩවසම් ය. ඒ අතර සිටි ආඩම්බරකාරයෝ වූයේ වලිග තටු, නැටුමකට සූදානම් මොනරුන් සේ ස්වභාවයෙන් ම ඉහළට එසැවී ඇති “ෆෑන් ටේල් ” නමින් හඳුන්වන අඩි තුන හතරකට වඩා ඉහළ ඉගිල යා නොහැකි පරෙවියෝ ය. උන් අලංකාරිකයන් වුවත් අපගේ සිත් පැහැර ගන්නේ තිතක් සේ අහසේ ඉහළටම ඉගිලී යා හැකි පරෙවියන්ය. එවැනි පරෙවියන් දෙතුන් දෙනකු ඇත්නම් ඒ පරෙවි කූඩුව අහළ පහල වතුවලත් ප්‍රසිද්ධියට පත් වන්නේ ය. එම පරෙවියන් නිසා උන්ගේ අයිතිකාරයා ද ප්‍රසිද්ධියට පත් වෙයි. එම ප්‍රසිද්ධිය නිසා ඒ අයට තරමක පාහේ චණ්ඩිකමක් ද ආරෝපණය වෙයි. අද බල්ලන් නිසා හිමිව ඇති ගම්භීරත්වය තරම් නැතත් එදා එවැනි පරෙවි හිමියන් තරමක ආඩම්බරයකින් සිටි බව අපට මතකය. වත්තේ නමින් හෝ පාරේ නමින් ප්‍රසිද්ධව සිටි බොහෝ නගරන්කාරයින්ට පරෙවි කූඩුවක හිමිකාරකත්වයක් ආරෝපණය වීම අමතර සුදුසුකමක් වැනි විය.

අහසේ පරෙවියන් පියාසර කරණ සීමාවන් අනුව උන් අයත් වන්නේ කුමන වත්තේ කුමන කණ්ඩායමටදැ යි කීමට ළමා අපට මනා හැකියාවක් තිබිණ. කූඩුව පුරුදු පරෙවියකු ඉහළ අහසේ පියාසර කරන්නේ තමාගේ කූඩුව ඇති සීමාව හොඳින් දැන හැඳින ය. එහෙත් පරෙවියන් ට අහසේ දී පහර දීමට එන “කුරුලුගොයන්ට” (කටවහර- බයිරවයා) මැදි වූ විට උන් තමාගේ සීමාවෙන් එහාට ඇදෙන්නේ ජීවිතය බේරා ගැනීමට ය. ඒ නිමේශය බොහෝ විට උන්ට තමන්ගේ සීමාව අමතක කරවන අතර උතුර-දකුණ පැටලී අතරමං වෙයි. ඒ අප බලා සිටින නිමේශය යි. දැඩි වෙහෙසට පත් පරෙවියා තමන්ගේ මග වරද්දාගෙන සිටින බව ඌ අහසේ සැරිසරණ ආකාරය නිරීක්ෂණයෙන් අවබෝධ කරගැනීම “පරෙවි කප්පිත්තකුට” අසීරු නැත. අවට වතු කිහිපයකින් එකවර අහසට පරෙවි රෑනක් විසි වෙයි. අපි ගොදුර දෙස ඇසිපිය නොසොල්වා බලා සිටින්නෙමු.

තමන්ට පහළින් පියාසර කරණ පරෙවියන් දුටු ඇසිල්ලේ අතරමංව සිටින පරෙවියා වහා උන් හා එකතු වන්නේ ආරක්ෂාව පතා ය. මේ පරෙවියන් අතර තමාට ආරක්ෂාවත් තිබහට වතුරත් කුසගින්නට ආහාරත් ඇති බව ඌ දනියි. එනිසා ඌ වහ-වහා පහළට ඇදී සිය පිරිවර අතරට වදියි. ඒ අප මග බලා සිටි මොහොතයි. බොහෝ වෙලාවක් අහසේ පියාසර කිරීමෙන් ලත් වෙහෙස නිවා ගනිමින් වතුර බේසමේ වසන පරෙවියාට නිදහසේ වතුර බීමට ඉඩ හරින අපි ඌ වෙනුවෙන් බජිරි හෝ හාල් ඇට, පරිප්පු හෝ මුං ඇට හෝ ඒ කිසිවක් නැතිනම් ඇඟිලි දෙකක් අතරට ගන්නා කුඩා පාන් කැබලි ගුළි කර හෝ ආගන්තුක පක්ෂියා ඉදිරියේ විසුරුවමු. දඩි වෙහෙසත් කුසගින්නත් නිසා අනතුර පිළිබඳ ඉවෙන් දුරස් වන පරෙවියාගේ අතපසුවක් බලා සැණින් ඌ වෙතට පැන අල්ලා ගන්නෙමු.

සැමවිටම අපේ කුරුමානම නිවැරදි නොවේ. අපේ උගුලට අසු නොවන පරෙවියකු වී නම් අඳුර හාත්පස වටලන තුරු ඉවසන්නෙමු. අඳුරත් සමඟ කූඩුවන පළපුරුදු පරෙවියන් පසුපසින් නිසැකව ම ආගන්තුක පරෙවියා කූඩුවට ඇතුළු වන බැවිනි. කුමන තරාතිරමක, කුමන බලපුළුවන්කාරයකුගේ අයිතියට නතුව සිටිය ද අපේ කූඩුවට ඇතුළු වූ සැණින් ඒ පරෙවියා අපේ ය. (කියවන්න “කොළඹ ළමයි ”- ගොඩගේ ප්‍රකාශනයක්)

පරෙවියන් සමඟ මේ කරණ ගනුදෙනුව විටෙක විනෝදයක් ලෙස දැනුණද විටෙක එය භීතියේ සංකේතයක් වැනිය. ඒ අනුන්ගේ පරෙවියන් තමන්ගේ කූඩුව බස්සා ගැනීමේ නොතිත් ආශාව තවකකුගේ කෝපයටත් වෛරයටත් හේතුවන බැවිනි. අහිමි වූ තම පරෙවියා වෙනුවෙන් අනුන්ගේ ජීවිතයක් නැති කිරීමට පමණක් නොව සිය ජීවිතය වුව කැප කිරීමට පරෙවි හිමිකරුවන් සූදානම් ය. උසාවි සාවියේ පමණක් නොව කොළඹ තැපැල් කොට්ඨාශ පහළොවේ ම මිනිසුන් පරෙවියන් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ පුවත් අපට අසන්නට ලැබී තිබේ. වතු අතර ජන්මාන්තර වෛරයක් ලෙසට පරම්පරාවෙන් පරම්පරාවට දිව යන ගැටුම්වල මුල ඇත්තේ ද පරෙවි ආරවුලක් විය හැකිය. මේ ඊයේ පෙරේදා මල්වානේ මුස්ලිම් වැසියකු සිය මස්සිනාට පිහියෙන් ඇණ මරා දමා ඇත්තේ ඔහුට අයත් පරෙවියන් විකුණා මුදල් ගැනීමේ කෝපය සංසිඳවා ගැනීමට ය.

70 දශකයේ මැද භාගයේ දී විසි හතේ වත්ත මුල්කොට ගෙන ආරම්භ වූ එවැනි ආරවුලක් නිසා සන්තබස්තියම් වීදියේ ඉහළත් පහළත් අතර හටගත් ආරවුල කඩුවලින් කපා කොටා ගැනීමක් දක්වා ඔඩු දිව ගියේ ය. එකල වත්තේ පරෙවි කූඩුවේ හිමිකාරිත්වය ඒ. ජී. රංජිත් ප්‍රමුඛ මගේ මිත්‍ර සමාගමට හිමිව තිබිණ. සන්තබස්තියමේ ඉහළ ගල්වල වත්තේ ශාන්තලා සහ බල්ටි රංජිලාත් අප වත්තේ ගැටවරයනුත් අතර හටගත් ආරවුලට මුල් වුණේ ගල්වලවත්තේ පරෙවියකු විසිහතේ වත්තේ අපේ කූඩුවට “බස්සවා“ ගැනිමයි. නැතහොත් කූඩු කර ගැනීමයි. පරෙවියා සොයා ආ ශාන්තලා ආරම්භ කළ ගැටුමේදී අපේ රංජිත් ඉක්මන් වී තිබිණ. බඩකට පුරා පහර කෑ ශාන්ත වෙනුවෙන් පළිගැනීමටත් පරෙවියා බලහත්කාරයෙන් රැගෙන යාමටත් “බල්ටි රංජි” ප්‍රමුඛ ගල්වලවත්තේ කොල්ලන් පැමිණියේ කඩු පොලු මුගුරුවලින් සන්නද්ධ ව ය. රංජිත් වත්ත කෙළවර තාප්පය මත නැගී කපුටු බෝ ගසකට මුවා වී ආරක්ෂා වී සිටියත් රංජිත්ලාගේ තාත්තාට මැහුම් ගණනාවක් දමන්නට සිදුවූ කැපුම් තුවාලයක් ඇති කළ කඩු පහරකට මුහුණ දීමට සිදුව තිබිණ.

අද අප වැඩිහිටි මිනිසුන් ය. මහමඟ හමු වූ විට එවැනි සටනක මතකයක් හෝ නැති උන් සේ අපි කතා බහ කරන්නෙමු: ඥාති සබඳතා පවත්වන්නෙමු. ඒ කොළඹ වතුජානපදිකයන්ගේ හැටිය. එහෙත් පරෙවියෝ මේ බව නොදනිති. උන් අදටත් මඟ වරද්දා ගෙන අනුන්ගේ කූඩුවලට කොටු වෙති. තැන තැන ආරවුල් මවති.

පරෙවියන් පිළිබඳ මේ හැටි ලියන්නේ මන්දැ යි ඔබට සිතෙනවාට සැකයක් නැත. එහෙත් සාහිත්‍යකරුවකුට සිය අතිතය තරම් නිර්මාණ උල්පතක් තවත් තියෙන්නට බැරිය. 1992 සිට වරින් වර රාජ්‍ය සම්මානයට නිර්දේශව සිටි අපට 2012 දී පළමු වරට රාජ්‍ය සම්මානය හිමි කර ගැනීමේ වාසනාව හිමිවන්නේ පරෙවියන් මුල් කොට රචනා කරණ ලද “කොළඹ ළමයි” කෘතිය නිසාය. එම කෘතිය මගින් කොළඹ ගැටවරයන් හා පරෙවියන් අතර ඇති අවියෝජනීය බැඳීම ගෙනහැර පෑමට මා උත්සුක වූයේ පරෙවියන් හා මා අතර වූ ඒ මිහිර අමතක කළ නොහැකි වූ නිසාය. සංවර්ධනයේ මහා බලපෑමට යටත් ව 1978 දී විසි හතේ වත්ත සන්තබස්තියම් විදියෙන් පමණක් නොව කොළඹ නාගරික සිතියමෙන් ද මැකී ගියත් මගේ මතක ගබඩාවේ දොර යතුර ඇත්තේ එහි බව අමතක කළ නොහැකි ය.

ඔබට හැකි නම් සසර ගමනේ එක් වරක් හෝ කොළඹ වතුජානපදික දරුවකු ව ඉපිද බලන්න. නිසැකව ම ඔබට පරෙවියන් හා සමඟ මිනිසා විඳින අමයුර මිහිර අත්විඳීමට ලැබෙනු නිසැක ය.

“බල සුබ නිමිති තොප යන පෙරමග පරෙවි”

- අනුරසිරි හෙට්ටිගේ
anurasirihettige@gmail.com

උසාවි සාවිය පෙර ලිපි:

උසාවි සාවිය - 01 - මඩමේ සිට Day Care දක්වා 

උසාවි සාවිය 02 - සරුංගල් ලුහුබඳින්නෝ - Kite Runners

උසාවි සාවිය - 03 - ගාමිනී බහින්න, මානෙල් බහින්න...

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment