ඔත්තුකරුවා සහ දියණියට වසදීම හා බ්‍රිතාන්‍ය - රුසියානු සීතල යුද්ධය

ඔත්තුකරුවා සහ දියණියට වසදීම හා බ්‍රිතාන්‍ය - රුසියානු සීතල යුද්ධය

රුසියානු තානාපති කාර්යාලය මේ සිද්ධියට වහාම ප්‍රතිචාර දක්වමින් පැවසුවේ මේ කළ දෙය පිළිගත නොහැකි බව, අසාධාරණ බව සහ දුර නොදක්නා තීරණයක් බව ය. ඉදිරියේදී මේ නිසා අනිටු පල විපාක ඇතිවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවා සිටිති.

මේ වනාහී බ්‍රිතාන්‍ය-රුසියානු සබඳතාවල 30 අවුරුද්දක ඉතිහාසයේ උද්ගත ව ඇති දැවැන්තම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයයි. ඉදිරියේදී රුසියාව ද නොවැරදීම, එරට සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට හෝ ඊටත් වඩා වැඩි යමක් කිරීමට පෙළඹීමට ඉඩ තිබේ.

එය හුදෙක්, බ්‍රිතාන්‍යය වෙනුවෙන් සේවය කළ රුසියානු ජාතික ඩබල් ඒජන්තයෙකුට සහ ඔහුගේ එකම දියණියට වසදීම පිළිබඳ සිද්ධියක් නොවේ. බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියෙකුට එරෙහි ව ‘නර්ව් ඒජන්ට්’ හෙවත් ස්නායු අඩපණ කරන රසායනික අවියක් භාවිතා කිරීම පිළිබඳව ද වන, ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළුවකි. ජාත්‍යන්තර ලෝකය ගිනි වද්දවමින් යන මේ පුවත මාර්තු 9 වැනිදා පටන්ම දිග ඇදෙමින් යන අතිශය මතභේදාත්මක කතාන්දරයකි.

සෙර්ගෙයි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය යුලියාට වස දුන්නෝ කවරහුද?

සෙර්ගෙයි වික්තොවිච් ස්ක්‍රිපල් හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. ඇත්තම කතාව නම් ඔහු ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකි. 2018 මාර්තු 4 වැනිදා 66 හැවිරිදි ස්ක්‍රිපල් සහ 33 හැවිරිදි දියණිය යුලියා ලන්ඩනය බලා පැමිණියේ මොස්කව් නුවර සිට ය. පසුව ඔවුන් සැලිස්බරි හි මෝල්ටින්ස් සාප්පු සංකීර්ණයේදී දැඩි රෝගාතුර බවකට පත්වූහ. ඔවුන් ‘නර්ව් ඒජන්ට්’ හෙවත් ස්නායු අකර්මණ්‍ය කරන රසායනික අවියකින් අඩපණ වී සිටි බව සොයාගැනුණේ මාර්තු 9 වැනිදා සැලිස්බරි රෝහල වෙත අසාධ්‍ය තත්වයෙන් ඇතුළත් කළ ඔවුන් ව පරීක්ෂා කිරීමත් සමග ය.

සෙර්ගෙයි ස්ක්‍රිපල් ගේ දියණිය

සිද්ධිය සැළ වූ වහාම රුසියාව නිවේදනය කළේ සෙර්ගෙයි ස්ක්‍රිපල් රුසියානු ජාතිකයෙක් බවට ඔවුන් සතුව තොරතුරු නැති බවය. ඩබල් ඒජන්ට් ස්ක්‍රිපල් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව සැබෑ ය. ඒ, බ්‍රිතාන්‍යය විසින් ඔහුට පුරවැසිකම පිරිනමා ඇති නිසා ය. නමුත් සැබවින්ම මේ සිදුවන්නේ කුමක්ද?

අනූ ගණන්වලදී මෙන්ම දෙදහස් ගණන්වල මුල් භාගයේදී ද ඔහු රුසියාවට පමණක් නොව එක්සත් රාජධානියේ රහස් ඔත්තු සේවය වන MI 6 වෙත ඔත්තු සැපයූවේය. ඔහු සිය ඩබල් ඒජන්ට් කම පටන් ගත්තේ 1995 වසරේදී ය. බ්‍රිතාන්‍යය ඔහු වෙත පිරිනමා තිබූ කේත නාමය වූයේ Forthwith ය. එහිදී ඔහු රුසියානු රාජ්‍ය රහස් බ්‍රිතාන්‍යය වෙත ලබාදුන්නේය. බ්‍රිතාන්‍යයේ රැඳී සිටින සෙසු රුසියානු රහස් ඔත්තුකරුවන් ගැන තොරතුරු ද බලාදුන්නේය. ඇතැම් වාර්තාවකට අනුව ස්ක්‍රිපල් විසින් රුසියානු බුද්ධි අංශ නිලධාරීන් 300 දෙනෙක් පමණ අනාවරණය කිරීමට උදව් කර තිබේ. එසේම රුසියාවේ ප්‍රබල පුටින් විරුද්ධවාදියෙක් වූ ඇලෙක්සැන්ඩරේ ලිට්වෙන්කෝ පිළිබඳ තොරතුරු ලබාගැනීමට හෝ ඔහු වෙත ප්‍රවේශ වීම පිණිස ‘ෆෝට්විත්’ ව යොදාගන්නට ඇතැයි සැක පළ කෙරේ. අවසානයේ කර්නල්වරයෙක් වශයෙන් රුසියානු බුද්ධි අංශයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තවදුරටත් රුසියාවේ රැඳී සිටියේ රුසියානු විදේශ අමාත්‍යාංශයේ සේවය කරමිනි. එය, එක්සත් රාජධානිය වෙත තවදුරටත් රුසියාව පිළිබඳ තොරතුරු සැපයීමේදී ඔහුට මහත් පහසුවක් වන්නට ඇත. නමුත් මේ අන්තරායකර දෙබිඩි සෙල්ලම අවසානයේ රුසියාවට ඉව වැටුණේය. 2004 දෙසැම්බරයේදී ඔහු ව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් අත්අඩංගුවට ගැනිණි. නඩුවේදී රාජ්‍ය දේ‍රා්හිත්වය පිළිබඳ ඔහුට දැඩි චෝදනා නැගිණි. අනතුරුව ඔහු ව සිරගත කෙරිණි.

පවුලේ සාමාජිකයන් අබිහරස් ලෙස මරුට

2010 ජූලි මාසයේදී ‘ඔත්තුකාර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්‘ හරහා එවකට ජනපති දිමිත්‍රි මෙද්වදෙව් ස්ක්‍රිපල් හට සමාව ප්‍රදානය කළේය. බ්‍රිතාන්‍යයේ සැලිස්බරි වෙත පදිංචියට ආ ඔහු 2011 වසරේ පටන් එහි නිවසක් ද මිලදී ගෙන ජීවත් වීම ඇරඹුවේය. 2012 වසරේදී ස්ක්‍රිපල්ගේ බිරිඳ ලුද්මිලා පිළිකා රෝගය වැළඳී මරණයට පත්වූවාය. 2014 වසරේදී දියණිය යුලියා නැවත රුසියාව බලා ගොස් අලෙවි කටයුතුවල නියැළුණාය. මේ අතර, එකම පුතා වූ ‘සාෂා’ හෙවත් ඇලෙක්සැන්ඩර් ස්ක්‍රිපල් 2017 මාර්තුවේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් බලා ගිය ගමනකදී හිටිහැටියේම වකුගඩු අකර්මණ්‍ය වීම නිසා අබිරහස් ලෙස මිය යයි. මෙයට දෙවසරකට පෙර ස්ක්‍රිපල්ගේ වැඩිමල් සහෝදරයා ද වයස අවුරුදු 43 දී හිටිවනම මිය යයි. අවසානයේ සර්ජි ස්ක්‍රිපල්ගේ බිරිඳ ලුද්මිලා සහ පුතා ඇලෙක්සැන්ඩර් යන දෙදෙනාම මිහිදන් කරන්නේ ද සැලිස්බරි සුසානයේ ය. අවසානයේ මේ වන විට සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ එකම දියණිය යුලියා, ඒ නුවරම රෝහලේ මරණ මංචකයේ වැතිරී සිටිති.

රටක් තුළ රසායනික අවියක්?
මුලින් මෙහිදී පැන නැගුණු පැනය වූයේ බ්‍රිතාන්‍යය වැනි රටක් තුළ රසායනික අවියක් පාවිච්චි වූයේ කෙසේද යන්නයි. නමුත් ඔවුන් මොස්කව් නුවර සිට පැමිණි බව තහවුරු වීමෙන් අනුතරුව, විමර්ශන වෙනත් ආරක් ගත්තේය. විචාරකයන් මේ වන විට සැක පළ කරමින් සිටින්නේ රුසියාව සතුව සියලු ජාත්‍යන්තර සම්මුතීන්වලට පටහැණි, හෙළිදරව් නොකළ රසායනික අවි වැඩසටහනක් තිබෙනවා විය හැකි බවයි.

බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් සනාථ කරගෙන ඇති ආකාරයට සෙර්ගෙයි ස්ක්‍රිපල් සහ යුලියා ගොදුරු වී ඇති ස්නායු අකර්මණ්‍ය කළ රසායනිකය වන්නේ ‘නොවිචොක්’ ය. නොවිචොක් නිෂ්පාදනය වන්නේ ලෝකයේ එකම එක තැනක බව රසායනික අවි පිළිබඳ විශේෂඥයෝ කියති. ඒ එකම එක තැන, මධ්‍යම රුසියාවේ ශිකනි පළාතේ හමුදා පර්යේෂණ විද්‍යාගාරයකි. එය 1971-74 අතර කාලයේදී එනම්, ඇමරිකාව සමග ශීතල යුද්ධය පැවති සමයේදී පෙට්‍රි කිරිපිචෙව් නමැති සෝවියට් යුධ විශේෂඥයෙකු විසින් නිපදවූවකි. සුදු පැහැ කුඩක් වන මෙය, ශරීරගත වීමෙන් අනතුරුව හදවත අකර්මණ්‍ය වීම සහ හුස්ම හිරවීම සිදුවේ.

1997 වසරේ පටන් බලාත්මක වන අන්තර්ජාතික රසායනික අවි සම්මුතියට අත්සන් කර නැත්තේ ලෝකයේ රටවල් 4 ක් පමණි. එනම් ඊජිප්තුව, උතුරු කොරියාව, ඊශ්‍රායලය සහ දකුණුදිග සුඩානය පමණි. ඒ අනුව රුසියාව පැහැදිලිවම එහි අත්සන්කාර පාර්ශවයකි. මේ අනුව රසායනික අවි නිපදවීම, ගබඩා කර තබාගැනීම සහ භාවිතය සපුරා තහනම් ය. මේ සිද්ධිය මුල්කරගෙන ලන්ඩනය වහාම ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වේය. ඊයේ දිනයේ රැස් වූ ආරක්ෂක කවුන්සිලය රුසියාව එම සම්මුතිය උල්ලංඝනය කර ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල කළේය. මෙම රසායනික අවි භාවිතා කිරීම අධීක්ෂණය කරන අන්තර්ජාතික සංවිධානය වන්නේ Organisation for the Prohibition of Chemical Weapons හෙවත් OPCW ය. තෙරේසා මේ ගේ රජය, සැලිස්බරි වෙත පැමිණ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට දැනටමත් එම සංවිධානයට දැනුම් දී තිබේ.

වස දුන්නේ නැන්දම්මාද?

බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත අනාවරණය කරන්නේ යුලියාගේ නැන්දම්මා වන්නට සිටි කාන්තාව, එනම් යුලියාගේ පෙම්වතාගේ මව රුසියානු ආරක්ෂක සේවයෙ ඉහළ නිලයක් හොබවන්නියක බවයි. රුසියානු ඔත්තුකරුවන් 300 ක් පාවා දුන් දේශදේ‍රා්හියාගේ දියණිය සමග තමන්ගේ පුතා පෙමින් බැඳීම ගැන ඇය පසුවී තිබෙන්නේ පුපුරණ තරම් තරහකින් බව රුසියාවේ ජීවත් වන සර්ජි ස්ක්‍රිපල්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ. යුලියා මොස්කව් ගොස් තිබෙන්නේ මාර්තු 1 වැනිදාට යෙදී තිබූ ඇගේ උපන් දිනය පෙම්වතා ඇසුරේ සැමරීම සඳහා ය. ඒ අනුව සැබෑ උවමනාව තිබුණේ ස්ක්‍රිපල්ට වස දීමටද? නැතිනම් යුලියාට වසදීමටද යනුවෙන් අතුරු පැනයක් ද මෙහිදී මතු වෙයි.

සර්ජි ස්ක්‍රිපල්ගේ ඥාතීන් ප්‍රකාශ කරන ආකාරයට ඔහු සිය රුසියානු ඥාතීන් සමග දිගින් දිගටම සුහදශීලී සබඳතාවක් පවත්වාගෙන ගිය අයෙකි. රුසියාවේ සිට ඔහුගේ සුවදුක් බැලීමට නිතර පවුලේ අය සහ ඥාතීන් ද සැලිස්බරි වෙත පැමිණ තිබේ.

එහෙත්, ස්ක්‍රිපල් සහ දියණියට මෙම ස්නායු රසායනික ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් බ්‍රිතාන්‍යයේ සිටියදී ද නැතිනම් රුසියාවේ සිටියදී ද යන්න හරිහැටි තහවුරු කර ගන්නට තවම මගක් නැත.

යම් හෙයකින් එය එසේ සිදුවී තිබෙන්නේ රුසියාවේදී යැයි තහවුරු වුවහොත්, රුසියාව යුලියාගේ නැන්දම්මා දංගෙඩියට තබන්නට සැරසෙන්නේ ද යන පැනය ද මෙහිදී මතු වේ. මන්ද යත් යම් හෙයකින් මෙය පුද්ගලික ආරෝවක් හෝ වෛරයක් නිසා සිදුකළ දෙයක් යැයි ඇය වගකීම ගතහොත්, එමගින් රුසියාව සකලවිධ ජාත්‍යන්තර අපවාදයන්ගෙන් සැණෙන් මිදෙනු ඇත.

තෙරේසා මේ කසය අතට ගනියි.
මේ වන විට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ස්ක්‍රිපල්ට වස දීම පිළිබඳ සිද්ධියේදී සම්පූරණයෙන්ම කසය අතට ගෙන ඇත. ඇය නිවේදනය කළේ මේ ගිම්හානයේ රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය නැරඹීමට රජ පවුලේ කිසිවෙකුත් සහභාගි නොවන බවයි. බොහෝ විට රජ පවුල පමණක් නොව බ්‍රිතාන්‍ය නියෝජනයම පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වීමට ඉඩ තිබේ. මෙම ප්‍රහාරය පිටුපස රුසියාව සිටියිදැයි හරියටම කිව නොහැකි බව, සදාම් හුසේන් සිදුවීම උදාහරණයට ගනිමින් ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පවසන විට තෙරේසා මේ ඉතා පැහැදිලිව මෙවදන් පැවසුවාය. “To those who seek to do us harm, our message is clear — you are not welcome here. ” “අපට හානි කරන්නට හදන අයට අපේ පණිවුඩය පැහැදිලියි. ඔබ බ්‍රිතාන්‍යය විසින් සාදරයෙන් පිළිගන්නේ නැහැ..” බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැළීමට සුදානමින් සිටි රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ද මේ වන විට සිය ගමන වහාම හකුළාගෙන තිබේ.

2006 වසරේ හිටපු රුසියානු ඔත්තුකරුවන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රබල පුටින් විරෝධියෙකු වු ඇලෙක්සැන්ඩර් ලිටිවෙන්කෝ ද පෝලෝනියම් වස ශරීරගත වීමකට ලක්වුණේ ලන්ඩන් නගරයේදී ය. දින දෙකකට පහු ඔහු මරණයට පත්විය. රුසියාවේ මේ අතීත කතා ද ලන්ඩනය කෙතරම් අනාරක්ෂිත ද යන්න ගැන එහි පාලකයන්ට සිහිපත් කර දෙනවා වන්නට ඇත.

කෙසේ වෙතත් මේ සටනේදී තෙරේසා මේ ගේ හුදෙකලා නැත. ඇගේ තීරණයට ජාත්‍යන්තර වශයෙන් ද විශාල සහයෝගයක් හිමි ව තිබේ. ඔස්ටේ්‍රලියාවේ මැල්කම් ටර්න්බුල්, ප්‍රංශයේ එම්මානුවෙල් මැක්‍රොන්, ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් ද ඇගේ තීරණයට සිය සහාය පළ කර තිබේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ සිද්ධියේදී තෙරේසා මේ හට සහයෝගය ලබාදෙන බව කියා තිබේ.

එක අතකින් මේ සිදුවීම ‘අපිට බ්‍රෙක්සිට් ඕනෙමයි..” යනුවෙන් හඬ තැලූ බ්‍රිතාන්‍ය දේශපාලකයන්ට අමතක නොවන පාඩමක් වනු ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් දැන් මේ සිද්ධියෙන් අනතුරුව ‘අවර් යුරෝපියන් කවුන්ටපාට්ස්’ (අපේ යුරෝපියානු සගයෝ’) යනුවෙන් ගැම්මෙන් යුතුව කියමින් ඔවුන්ගේ සහයෝගය පතති. බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බහුතර තීන්දුවක් ගන්නා විට නම් ඔවුන් හැසිරුණේ “තොපි නැතිව අපිට හොඳට ඉන්න පුළුවන්’ වැනි හැඟීමකිනි.

පුටින් ඉල්ලන් කන්නට යන්නේද?
එක් පසෙකින් බ්‍රිතාන්‍යයේ පුද්ගලික පාසල්වලට සිය දරුවන් ඇතුළත් කරන්නට කැස කවන රුසියාවේ කෝටිපතීන් ය. තවත් පසෙකින් ලන්ඩන් කොටස් වෙළඳපොළේ පවුම් බිලියන 260 ක රුසියානු ආයෝජනයකි. රුසියාවේ දෙවන කෝටිපතියා ලෙස සැලකෙන ඇබ්රොවිච්, පුටින්ගේ ළඟම මිතුරා ය. ඔහු තනිකරම ජීවත් වන්නේ ලන්ඩනයේ යැයි කිව හැකිය. වෙනකක් තබා ලන්ඩනයේ සුප්‍රකට චෙල්සි පාපන්දු සමාජයේ හිමිකරු වන්නේ ද ඇබ්රොවිච් ය. ඉතා සරල ලෙසම පෙනී යන පරිදි එක්සත් රාජධානිය යනු පුටින්ගේ රුසියාවට ලෝකයේ තිබෙන හොඳම වෙළඳපොළකි. යම් හෙයකින් තෙරේසා මේ සිද්ධිය මත පදනම්ව ලන්ඩනයේ සිටින රුසියානු ආයෝජකයන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගතහොත්, පුටින්ගේ අධිරාජ්‍යය දෙදරා යාම වැළැක්විය නොහැකි වනු ඇත.

මේ අතර ලබන සුමානයේ රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ය. පුටින් එහි එකම නළුවා ය. පුටින් හැසිරෙන්නේ රත්තරන් ආලේපිත ක්‍රෙම්ලිනයේ මහා ද්වාරයන් ඔහු වෙනුවෙන් සදාකාලිකව විවෘත වී ඇති පරිද්දෙනි. ඔහු ‘සාර් අවතාරයක්‘ යැයි ද විචාරකයෝ කියති. ඒ, විරුද්ධවාදීන් ව හෝ ‘මව්බිමේ සතුරන්’ව හොඳින් හෝ නොහොඳින් අතුගා දැමීමට පුටින් දෙවරක් නොසිතන නිසා ය. නමුත් පුටින් දැන් මේ සැරසෙන්නේ ඉල්ලන් කන්නටද? එය එසේ වන්නටත් බැරි නැත.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment