මේ අමන තහනම ගලවන්න - සංවර්ධන සන්නිවේදන විශේෂඥයින්.


තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවත්වාගෙන යෑමට නම් තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතු යැයි සංවර්ධන සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන මහතා පවසයි.

සාමජ මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවකදී තොරතුරු පනතේ වැදගත්කම, සමාජ මාධ්‍ය ගැන කතාබහ කිරීම තරමක් උත්ප්‍රාසය දනවන්නක් බව ද හෙතෙම කීය.

"තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මහජනතාව වෙත ප්‍රවේශ වීමේ වැඩසටහන් සැකසීම පිළිබඳව පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම" මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවකදී ගුණවර්ධන මහතා එම කරුණු කීවේය.

එහිදි ඔහු මෙසේ ද කීය.

"මේ වන විට ෆේස්බුක් සම්පූර්ණයෙන් අත්හිටුවලා. ඉන්ස්ටග්‍රම් වැඩ කරන්නෙම නැහැ.වයිබර් වැඩ නැහැ. වට්ස්ඇප් පූර්ණ වශයෙන් වැඩ කරන්නේ නැහැ. අපි තොරතුරු පනත සහ සමාජ මාධ්‍ය ගැන කතා කරන්නේ එවැනි වාතාවරණයක් යටතේ. එය උත්ප්‍රාසය දනවන්නක්. මේ මෝඩ අමන තහනම හෙට අනිද්දාම ගලවාගන්න සිදුවේවි කියලා අපි හිතනවා. එහෙම වුණොත් අපිට මේ හිතන සැලසුම් හොඳින් කරන්න පුළුවන්".

"එමෙන්ම මේ වගේ අවස්ථාවලදී මාධ්‍ය අමාත්‍යාංශය මේවා ගැන හඬ නගන්න ඕනේ. පිටස්තරයෙක් විදියට මට පේන්නෙ මේ තහනම පවත්වාගෙන යන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය නෙවෙයි. ආරක්ෂක අංශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඉහළින් ඉන්න පිරිසක් තමයි මේ දේවල් කරන්නේ".

"ඉල්ලන තරමට තමයි තොරතුරු ලැබෙන්නේ. බැහැ කියන ඒවාට අභියාචනා ඉදිරිපත් කරන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වඩා තරුණ ජනමාධ්‍යවේදීන් තොරතුරු පනතෙන් වැඩ අරගෙන තියෙනවා. මාධ්‍යවේදීන් වගේම රටේ මිලියන 22 ක් වූ සමස්ත ජනතාව මීට සක්‍රීයව දායක වෙන්න ඕනේ. මේක පුරවැසියන්ගේ අයිතියක්" යැයි පැවසීය.

තොරතුරු පනත සම්බන්ධයෙන් පූර්වාදර්ශ නැති බැවින් තොරතුරු පනත සම්බන්ධයෙන් අප සිටිනුයේ අත්හදා බැලීම් අවස්ථාවක යැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජගත් ලියනආරච්චි මහතා මෙහිද කීවේය.

එමෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ද ඔහු පැවැසීය.

මෙහිදි අදහස් දැක්වූ විජයානන්ද ජයවීර මහතා තොරතුරු කොමිෂන් සභාවේ තීන්දු තීරණ සිංහල බසින් ප්‍රකාශ කිරීමට හැකි නම් පනතේ ක්‍රියාකාරීත්වය පලදායීතාව පිළිබඳව දැනට වඩා වැඩි වශයෙන් ජනතාව දැනුවත් කළ හැකි බව කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment