පෙම්වතියට විහිළු කළ සිසුන් පැහැර ගෙන ගොස් පහර දුන් පෙම්වතා


පාසලේ සිසුන් තිදෙනෙක් සිසුවියකට කළ විහිළුවක් මුල් කරගෙන එම සිසුන් තිදෙනා පැහැරගෙන ගොස් පහරදී රඳවාගෙන සිටි සිසුවියගේ පෙමිවතා ඇතුළු තරුණයන් හත්දෙනකු පල්ලෙවෙල පොලිසිය පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්යාල නුගේදොලවත්ත රණවිරු ගම්මානය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

පාසල් යන වයසේ පසුවෙන සිසුවියගේ පෙම්වතා සහ හමුදා සේවයෙන් ඉවත්වූ බව කියන දෙදෙනකු සැකකරුවන් අතර වන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුන් තිදෙනා සිසුවියකට කළ විහිළුවක් නිසා කෝපයට පත් වු සිසුවියගේ

පෙම්වතා ඔහුගේ හිතවතුන් පිරිසක් සමග පසුගිය 11 වැනිදා උදේ ත්‍රිරෝද රිය දෙකකින් හා යතුරු පැදියකින් කල්එලිය ගල්අමුණ හන්දියට පැමිණ උපකාරක පන්ති යමින් සිටි සිසුන් තිදෙනා බියගන්වා ත්‍රිරෝද රියට නංවාගෙන පස්යාල රණවිරු ගම්මානය දෙසට කැඳවාගෙන ගොස් ඇත. එහි ගිය පසු එක් ත්‍රිරෝද රියක රියදුරෙක් ආපසු ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

එහි කැඳවාගෙන ගිය සිසුන් තිදෙනා රණවිරු ගම්මානයේ ක්‍රීඩා පිටිය අසල රඳවා තබාගෙන පහරදී ඇති අතර එදින පන්ති නිම වන වෙලාව ආසන්න වන විට ඔවුන් යළි ත්‍රිරෝද රියකින් මීරිගම නගරයට ගෙනවිත් දමා ඇත.

දින කිහිපයක් ගත වෙද්දී තම දරුවන් කිසියම් ප්‍රශ්නයකට මුහුණදී ඇති බව එක් සිසුවෙකුගේ පියාට දැන ගන්නට ලැබීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු දෙමාපියන් විසින් ‍මේ බව පල්ලේවෙල පොලිසියට ඉකුත් 20 පැමිණිලි කර ඇත.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පල්ලේවෙල පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් මෙම අපරාධය සදහා යොදාගත් බව කියන ත්‍රිරෝද රථ හා යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 8. දෙනා පැහැරගෙන යාම, පහරදීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ පෙරේදා 21 සවස අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment