
දේශීය ආදායම් යනුවෙන් ආර්ථික විද්‍යාවේදී සලකා බලන්නේ දේශීය වශයෙන් නිෂ්පාදිනය කරනු ලබන, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යන දේශීය නිෂ්පාදන මූලාශ්‍ර සේවයෙහි නැතහොත් භාවිතාවෙහි යෙදවීමෙන් උපයනු ලබන ආදායම්ය. දේශීය ආදායම් පණතක් හඳුන්වා දෙනවා යැයි ඇසුණූ විට ආදායම් සම්බන්ධ කාරණාවක් විය හැකියැයි කෙනෙකුට සිතිය හැකි වුවද මේ එවැන්නක් නොවේ. 2015 ජනවාරි විප්ලවයෙන් පසු රජය පොරොන්දු වූ ආයෝජන මල්ල වපුරා ලැබුණු අස්වැන්නේ ආදායම පිළිබඳවද නොවේ. කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්තශාලාව හෝ, හොරණ ටයර් කර්මාන්තශාලාව හෝ ගූගල් බැලුන් අහසේ යවා ලබාගත් ආදායම වැනි ශ්‍රී ලංකාවේ මෑත කාලයේදී සිදුකළ දැවැන්ත ආයෝජනවලින් ලැබුණු ආදායමද නොවේ. රජයේ වී අළෙවි මණ්ඩලවලින් එකතු කරගත් වී ටික නරක් වීමට නොදී මත්තල ගුවන් තොටුපළ වැනි එකේ ගබඩා කර ලැබුණු ගබඩා ආදායමද නොවේ. මුදල් අමාත්‍ය මංගල පින්සිරිට අනුව රටේ ජනතාවගේ ඉතුරුම්වලට තට්ටු කර ලබාගන්නා ආදායමකි. වෙනත් අදහසකින් කියන්නේ නම් සිරිතේක්කුගේ බුලත් පයියට විඳ අවසන් කර පසු මැංගො නෝනාගේ තංගල්ල බැංකුවට අත දමා ලොට තනේ ඉතිරිව ඇති අන්තිම කිරිටිකද දොවා ගැනීමකි.
ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුවද, ඩොලරය, යූරෝව අහස උසට තියෙන රටකි. රටේ නිෂ්පාදනයට වඩා ණය වී ඇති රටකි. හෙට උපදින එකා පවා ලක්ෂ 6 කට වැඩි ණයකාරයෙකු කර ජාතක කරන තරමේ පජාත රටකි. ආදායමට සාපේක්ෂව වියදම එහෙමත් නැත්නම් අයවැය පරතරය පියවා ගැනීමට පවා ණය ගන්නා රටකි. අපනයන සීයක් කරනවිට ආනයන තුන්සීයයක් පමණ කරන රටකි. අපනයන ආදායමට සාපේක්ෂව ආනයන වියදම අධික රටකි. එහෙව් රටක ප්‍රධාන අපනයන ආදායම් වන රෙදි මසා පිටරට යැවීම බල්ලාට ගොස්ය. තේ කොළ එකේ කුණු රොඩුය. රබර් ගස් පිටින් උගුල්ලා ඉඩම් කට්ටි කර විකුණමින් සිටියි. පොල් පිටරට යවන්න තබා ලංකාවේ එවුන්ටද එලොව පොල් පෙන්වන්නට පටන්ගෙන තිබේ. පෙරදිග ධාන්‍යාගාරයේ හාල් කිලෝවක් රුපියල් 95 කි. ආර්ථිකය සුහුරු කිරීමට යැයි ඉල්ලන පැපොල් ගෙඩි පාට නෝනලා සහ බඩගෙඩිකාර මහත්වරු මහජන ඡන්දයට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඡන්ද කරගනිති. ගහ මරා ගනිති. අම්ම මුත්ත මතක් කරගනිති. ඡන්දයෙන් පසුව සභාපති තේරීමට, වරප්‍රසාද ලබාගැනීමට එහෙට පනිති, මෙහෙට පනිති. ලක්ෂ ගණන් හුවමාරුවෙති. මහජන ඡන්දයක් නොපවත්වා උන් උන්ම ලක්ෂ ගණන් බෙදාගෙන පාලනය කරා නම් අඩුම තරමේ මිනියක් දෙකක්වත් මැරෙන එකවත් වළක්වා ගන්නට තිබුණි.
ආර්ථිකය අංඥ කොරොස් වී මහ බැංකුවටද මහදවල් රොබරියක් දුන් ආණ්ඩුව ෂේප් එකේ ආදායම මත බදු ගසා ඇත. භාණ්ඩ හා සේවා මත සිදුකරන වක්‍ර බද්ද වෙනුවට උපයන විට සෘජු ආදායම් මත බදු එකතු කිරීම ආරමිභ කර තිබේ. දේශපාලකයා ආදායම් උපයන්නේ නැත.ඔවුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නොවේ. උන් කන හැටි දන්නේ උන්ගේ ලිපාය. උන් මාර පවුය. උන්ම මේ බදු ගැසිල්ල අදාළම නැත. රුපියල් ලක්ෂෙකට වඩා පඩි ගන්නේ වෘත්තිකයින්ය. අමාරුවෙන් ඉගෙනගෙන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ, විශ්ව විද්‍යාලවල, වෛද්‍ය වෘත්තියේ, ඉදල හිටල වගේ නීතිඥ වෘත්තියේ නිරතවෙන වුන් නම් ලක්ෂ ගණන් වැටුප් ගනිති. . එන්. ජී. ඕ වල ඉන්නා නෝනා මහත්වරුන්ද රට වෙනුවෙන්, රටේ මානව හිමිකම් වෙනුවෙන් තම ලේ, මස්, දහඩිය කැපකර ලක්ෂ ගණන් උපයති. උන්ගෙන් උපයනවිට බදුගත්තාට කමක් නැත. වෘත්තිකයින්ද කෙසේ හෝ හූල්ල හූල්ලා බදු ගෙවනු ඇත. එහෙත් විදේශ රැකියාවන්හි නිරතව සිට මෙරටට මුදල් එවන විදේශ සේවා නියුක්තිකයින්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වලින් ගසා කෑම නම් සහගහන තරම් අපරාධයකි. ජීවත්වීමට අවශ්‍ය රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති නිසා අරාබියෝ කුණු සෝදන්නට යන අපේ ගැහැණු ටික නැත්නම් මෙලහකටත් මේ රට වළ පල්ලේය. රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය අරාබියට යන ලංකාවේ ගෑනු ටිකය. ගෑණුන්ට පස් පඩංගුවේ බැන වදිමින් උන්ව දෙකේ කොළේට දාන පිරිමි සංහතියට උන් රට ගියේ නැත්නම් වෙන්නේ අල්ලට කකා අල්ල්ට සිගමන් යදින්නටය. අපි නියම සිංහල අඩෝ, අපි පට්ට බෞද්ධ අඩෝ යැයි පම්පෝරි ගැහුවාට අරාබියේ මුසල්මානුවා යටතේ සේවය කරන ඇඹිපිටියේ ගෑණුන්ට, කුරුණෑගල ගෑණුන්ට, පදවියේ ශ්‍රී පුර ගෑණුන්ට එහෙම උදම් අනන්නට රෙද්දක් නැත. උදේ පාන්දර ආරම්භ වෙන රාජකාරිය මහ රාත්‍රියේ අවසන් කරනකොට රිදුම් දෙන අත් පා වලට කහ කුඩු ටිකක් එක්ක තෙල් ටිකක් රත් කරලා ගාන්න එකෙක් නැති වේදනාවෙන් දැවි දැවි පිච්චි පිච්චි ඉන්න උන් හම්බ කරලා එවන සොච්චමටත් කොටන්න වෙර දරන පාදඩ දේශපාලකයො ටික පෝලිමට තියලා උන්ට ශරීර බද්දක් ගහන්න ක්‍රමයක් නිර්මාණය කළ යුතුය. අපා දුක් විඳ හම්බ කරන ඩිනාර් කාසිවල, රියාල් කොළවල හැංගිලා තියෙන කඳුළු කතාන්දරය අස්සෙ උන්ගෙ මහන්සිය පමණක් නොව උන්ගේ රිහිරි මාංශයම සූරාකෑ කකියන විලාපයත් සැඟවිලා තිබෙන බව දේශපාලුවොන්ට මතක් කර දිය යුතුය. සිය දහස් වරක් දූෂණය වී, උඩ තට්ටුවලින් බිමට තල්ලු කර දමන අපේ ගැහැණුන්ගේ වේදනාවට, ඇණ ගසා, යකඩ කම්බි කූරු ගසා, ලිංගික අවයව වලට යකඩ කූරු බස්සා, කොණ්ඩ කපා, පිට කොන්ද හම ගසා එවන අපේ ගැහැණුන්ගෙ විලාපයට ගසන බද්ද කුමක්දැයි ඇසිය යුතුය.
මාස ගණන් හෙම්බත් වී පන්ති ගොස් පාඩම් කර, හතලිස් දාහක් පමණ තරුණ තරුණියන් සමග විභාග සටනක් කොට කොරියානු සිහිනය දකින දෙසීයක් තුන්සීයක් පමණ තරුණ තරුණියන්, පට්ට ශීතලේ ගැහි ගැහී හම්බ කර එවන සොච්චමෙන් රට කරවන්නට මාන බලන දේශපාලනඥයින්ගෙන් මේ රට බේරා ගත යුතුව ඇත. කෝටි ප්‍රකෝටි ගණන්වලින් අල්ලස් ගන්නා, අල්ලස් මදිවට සැප වාහන, මන්දිර, සියලු සැප සම්පත් විඳිමින් අවසානයේ රටත් කා දමන දේශපාලනඥයන්ගෙන් ශරීර බද්දක් ගත යුතුව ඇත. ආයෝජකයෙක් ශ්‍රී ලංකාව දෙස බලා තෝසයක් වඩයක්වත් නොකන තරමට කෙලවී නන්නත්තාර වී ගිය රටකට කෙසේ හෝ ගැටගසා ගැනීමට තව තව බදු ආදායම් මාර්ග ඉදිරියේදී ගෙනෙනු ඇත. හම්බකරගත් සොච්චම බඩට නොකා, ඇඟට නො ඇද, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන දුප්පත් අම්මලාගේ, තාත්තලාගේ බැංකු ගිණුම්වලට, පොළියට, පොළියෙනුත් සීයට පහකට කෙලින ආණ්ඩුවකට වැඩි කල් යාමට පෙර ගෙදර යන්නටද සිදුවෙනු ඇත. එහෙත් ගෙදර යන්න කලින් ඔවුන් බඩු මළු පුරවා ගත යුතුය. පරම්පරා හත අටකට හම්බ කරගත යුතුය. කොන්ද පණ නැති අපෘෂ්ඨවංශිකයෙකු රට කරවන රටක, මහ බැංකුවටත් මහ දවල් කෙලින ආර්ථික ඔස්තාර් අගමැටිතුමෙක් ඉන්න රටක, එහෙටත් පනින මෙහෙටත් පනින, ජිල්මාට්වලින්ම ගොඩ යන්නට තනන මුදල් ඇමතිවරයෙක් ආර්ථිකයක් තැනීමට මිනිසුන්ගේ හැඹිලියට බසින රටක මෑතකදී වැසිකිලියට ගොස් බහාලන දෑටත් බද්දක් නොගැසුවහොත් පුදුම විය යුතු නැත.
අවසානයේ කියන්නට ඇත්තේ ඉදිරියටා යමු සැවොමා ගල් ගෙඩි දෙක දෙක අතට අරං යනුවෙනි.!
- තුෂාර මනෝජ්
0 comments :
Post a Comment