මම උගන්වන ඉස්කෝලෙ, මට බාරව තියෙන පන්තියෙ, හිටපු පන්ති නායක ශිෂ්‍යයා මගෙන් ඔහොම අහනවා. මං කොල්ලගෙ මූණ දිහා හොඳට බැලුව. අංශුවකින්වත් කිළිටි නොවුණ දීප්තිමත් - යොවුන් ඇස් දෙකක් කුතුහලයෙන් දිලිසෙනව.
"ඇයි පුතා එහෙම අහන්නෙ?"
"නෑ... සර් කවදාවත් උදේට පන්සිල් ගන්නෙ නැහැනේ! ඒකයි ඇහුවෙ." කොල්ල කට කන් දෙක ළඟට යනකං පළල් කරගෙන හිනාවෙනව.
"ඉතින් මිනිහෙකුට ආගමක් තියෙන්නම ඕනෙද?" මාත් හිනාවෙනව. "ඉන්න, මං කියල දෙන්නම්."
ඇස් දෙක තව ටිකක් වැඩිපුර දිලිසෙනව. ඇත්තටම නොකිළිටි ප්‍රශ්න! ඒ කතාව තාවකාලිකව එතැනින් ඉවරයි. දැන් ඊළඟ ජවනිකාව, ඊට ආසන්නතම දිනයකදී.
"මචං උඹ ක්‍රිස්තියානිද?" දෙවැනි ප්‍රශ්නෙ ආවෙ එහෙමයි.
ගුරු මණ්ඩලේ ඉන්න සම වයසෙම හිතවත් ගුරුවරයෙක්. හැබැයි කිලුටු ඇස් දෙකක්. ප්‍රශ්නෙ ඇහුවට උත්තරේ හිත යට තියෙනව කියල දැනෙනව.
"ඇයි එහෙම අහන්නෙ?"
"මං දැන් දවස් ගාණක් බලන් හිටියා. උඹ කවදාවත් බුදුන් වඳින්නෙ නැහැනේ?"
"ඉතින් මිනිහෙකුට ආගමක් තියෙන්න ම ඕනෙද?" මම මගේ ප්‍රතිප්‍රශ්නය අහනව.
ඔහු උපහාසයෙන් හිනාවෙනව. හැබැයි එතැනින් එහාට ආපහු ඒ ගැන කිසි දෙයක් අහන්නෙ නැහැ. ඒ කතාවත් දැනට එතැනින් ඉවරයි. දැන් තවත් ජවනිකාවක්, ඊටත් දින කීපයකට පස්සෙ.
"සර් බුද්ධාගමේ නෙවෙයිද?" තුන් වෙනි ප්‍රශ්නය ආවෙ එහෙමයි.
මව්පිය රැස්වීමක් අවසානයෙ දරුවගෙ අධ්‍යාපන කටයුතු තත්ත්වය දැනගන්න ආපු තාත්ත කෙනෙක් මගෙන් අහනව. ඒ මොන වගේ ඇස් දෙකක්ද? එක පාරට ම හිතාගන්නත් අමාරුයි.
"ඇයි එහෙම අහන්නෙ?"
"නෑ... මේ, පුතා හැමතිස්සෙ ම කියනව සර් වඳින්නෙ කරන්නෙ මොකුත් නැහැ කියල. ඒකයි මං නිකමට වගේ ඇහුවෙ."
"ඉතින් මිනිහෙකුට ආගමක් තියෙන්න ම ඕනෙද?" මගේ සුපුරුදු ප්‍රශ්නය, පොඩි හිනාවකුත් එක්ක.
ඔහුත් හිනාවෙනව. දරුව ගෙ වැඩ හොඳයි, මේ පාර ලකුණුත් වැඩියි, තව උනන්දු කරවන්න. හරි! ඒ කතාවත් එතැනින් ඉවරයි.
ඔය මම උගන්වන ඉස්කෝලෙ දී එක ළඟ දවස් කීපයක මට මුහුණ දෙන්න වුණ අත්දැකීම් තුනක්. අලුතෙන් ඉස්කෝලෙට ආව සර් පන්සිල් ගන්නෙ, බුදුන් වඳින්නෙ නැත්තෙ ඇයි කියන එක ළමයින්ට, ගුරුවරුන්ට විතරක් නෙවෙයි සමහර මව්පියන්ටත් ප්‍රශ්නයක්! ඉතින් මං ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙද? ඔව්! මම උත්තර දෙනව. හැබැයි අන්න අර දරුවගෙ වගේ නොකිළිටි - දීප්තිමත් ඇස් ඉස්සරහ විතරයි. වෙන කිසිම තැනක දී නෙවෙයි. මොකද ඇත්තට නිදාගෙන ඉන්න මිනිස්සු අවදි කරවන එක ලේසි වැඩක් වුණත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු අවදි කරවන එක අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක් නිසා. කමක් නැහැ, අපි ඉදිරිය බලමු!
ආ... තව එකක්! අද තීරුව ඉවර කරන්න කලින් මේකත් ලියල ම ඉන්න ඕනෙ. අර මගෙන් ක්‍රිස්තියානිද අහපු හිතවත් ගුරු මිත්‍රයා ඉන්නව නේද? මිනිහ ළමයින්ට උගන්වන්නෙ විද්‍යාව සහ ගණිතය. මිනිහට තියෙන්නෙ භෞතික විද්‍යාව උපාධියක්. හැබැයි මේ දවස්වල තමන්ට සෑහෙන්න අපලයි කියල මිනිහ කේන්දරකාරයො පස්සෙයි, දේවාල ගාණෙයි කරක් ගහනවා. අපල දුරු කරගන්න. අනේ මන්දා! ඇත්තටම මිනිහ පව්ද, නැත්නම් මිනිහගෙන් විද්‍යාවයි, ගණිතයයි ඉගෙනගන්න ළමයි පව්ද?
- කසුන් සමරතුංග -
පෙර තීරු ලිපි
විත අස පත 01 - ආරම්භක කොලම
විත අස පත 02 - චූල සිරුරක මහා හදවත!
විත අස පත 03 - සිදුවිය නොහැක්කක් නැත !
විත අස පත 04 - සනාතන හන්දියේ සදාතන වේදනා !
විත අස පත 05 - ගොඩ ම බදා නොගත් දොඩන් !
විත අස පත 06 - පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව !
0 comments :
Post a Comment