කෝටි 10 අල්ලසේ මහ මොළකරුවන් ඇල්ලුවේ මෙහෙමයි !

කෝටි 10 අල්ලසේ මහ මොළකරුවන් ඇල්ලුවේ මෙහෙමයි !
සැලකිය යුතු කාලයක පටන් මෙම ගණුදෙනුවට ආචාර්ය අයි.කේ. මහානාම කෙළ හලමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. 
 
මේ, ඒ අල්ලස් කතාවේත් අල්ලස් මෙහෙයුමේත් ඇත්ත කතාවයි. 
 
කතාව ගෙතෙන්නෙ කන්තලේ සීනි සමාගම වටාය. කතාවේ ඉතිහාසය ආචාර්ය අයි.කේ. මහානාම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි සමය දක්වා දිව යයි. ඒ අනුව ආචාර්ය අයි.කේ. මහානාම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදි කන්තලේ සීනි සමාගම නැවත පණගැන්වීමේ ව්‍යාපෘතියක් යෝජනා වී තිබූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. ඉන්දියානු සමාගමක් එකී ආයෝජනය සඳහා පැමිණි අතර ඔවුන්  කන්තලේ සීනි සමාගමේ ඉතිරි ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර ඉල්ලා සිටි අතර එය වැළැක්වීමට කටයුතු කර තිබුණේ ආචාර්ය මහානාමය. ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ව සිටි සමයේදී අවස්ථා තුනකදී කැබිනට් පත්‍රිකා හරහා ගණුදෙනුවට පාර කපා ගැනීමට උත්සහ කළද ඊට අවස්ථාවක් ලැබී තිබුණේ නැත. අනෙක් පැත්තෙන් සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලටද ආචාර්ය මහානාම අකුල් හෙළීම කර ඇත. 
 
ආචාර්ය මහානාමට අවශ්‍ය ගණුදෙනුව කර ගැනීමට විශ්වාසයක් ඇති වන තත්ත්වයක් නැවත මතුවන්නේ ඔහු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වීමෙන් පසුය. දැනට මාසයකට පමණ පෙර ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරට පත් විය. බැලු බැල්මටම තනතුරේ බලසම්පන්නභාවය පිළිබඳ අදහසක් ගොඩනැගෙන හෙයින්ම ඒ ගැන කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. ඉන්දියානු සමාගමට ආචාර්ය මහානාම නැවත අතපොවන්නේ තනතුරේ බලමහිමයෙන් සිය අරමුණ ඉටුකර ගැනීමටය. ඒ අනුව කනතලේ සීනි සමාගමේ ඉඩම ඉන්දියානු සමාගමට පවරාදීමේ සැලැස්ම හදන්නේ රුපියල් කොටි 56 ක අල්ලසකට යටත්වය. එම මුදලට එකඟ නොවන ඉන්දියානු සමාගම එය රුපියල් කෝටි 10ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ඇත. 
 
ආචාර්ය මහානාම සිය සගයා වන රාජ්‍ය දැව සංස්ථාවේ වත්මන් සභාපති පී. දිසානායක සමඟ ඉන්දියානු සමාගමෙන් අල්ලස් ලබා ගැනීම සඳහා සියලු සැලසුම් සකස් කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස තමන්ට මෙම කූට ක්‍රියාවෙන් සැඟවී සිටින්නට හැකි වෙතැයි යන පූර්ව නිගමනයටද ඔහු පැමිණෙන්නටද ඇත.  
 
ආචාර්ය මහානාම ඉන්දියානු සමාගමෙන් කෝටි දහය ලබා ගැනීමට පෙර මඟ බලාසිටින අතරතුර මෙම ගණුදෙනුව ගැන අනෙක් පසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවද දැනුවත් වන්නේය. ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් අල්ලස් පැමිණිලි ලැබෙන විට ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද කටයුතු කර ඇත. පුද්ගල අනන්‍යතාවන් අනාවරණ නොකර පවත්නා තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන කොමිසමට ජනාධිපතිවරයාගෙන් පෙරළා ලැබී තිබුණේ සුභවාදී ප්‍රතිචාරයකි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා කොමිසමට උපදෙස්දී තිබේ. ඒ අනුව මීට සතියකට පෙර පුද්ගල අනන්‍යතා හෙළි නොකර නැවත් වරක් ජනාධිපතිවරයාට, ඔහුගේ කාර්යමණ්ඩලයේ ඇතැමුන් සම්බන්ධයෙන් ලැබී ඇති අල්ලස් පැමිණිලි ගැන සිහිපත් කරන කොමිසම කිසිදු දේශපාලන බාධාවකින් තොරව සිය රාජකාරිය ඉටු කිරීමට සුදානම් විය. 
 
ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුභවාදී ප්‍රතිචාරයත් සමඟ ආචාර්ය මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක කොටු කර ගැනීමට මාර්ගය සකස් කළ අල්ලස් කොමිසම අද ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ ඉන්දියානු සමාගමෙන් ලබාගත් කප්පම් මුදල් ගණන් කරමින් සිටියදීය.
 
සුප්‍රසිද්ධ ගලධාරී හෝටලයේ වාහන නැවතුමේදී රුපියල් කෝටි 10 කප්පමෙන් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි දෙකක් අචාර්ය මහානාම හා සභාපති දිසානායක ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කොටුවීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ජනාධිපතිවරයාද එම අවස්ථාවේදී කොමිසමේ රාජකාරියට කිසිදු බාධාවක් නොකර නීත්‍යානුකූලව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කොමිසමට පවසා තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් තවමත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින බව වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment