මේ දිනවල අනුරපුර වැඩියෙන්ම දැනෙන්නේ සිල් සුවඳය, ඉන් එහාට මල් සුවඳය, හමා යන සුළඟද පිං සුවඳය. පිං රැස්කරන්නට කැමති බොහෝ දෙනකු යන්නේද සිදුහත් බෝසතාණන් වහන්සේට බුදු වන්නට පිටදුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහාය. මේ සියල්ල අතරේ අනුරාධපුරයේදීම ජනමාධ්‍යවේදියකු හට අසන්නට ලැබෙන්නේ අහස පොලොව නුහුලන ආකාරයේ පුවතකි. ඒ එක් වයෝවෘධ කාන්තාවක් බස් නැවතුම්පොලක රැඳී සිටින බවයි. පුවත ලද සැණින් ක්‍රියාත්මක වන ජනමාධ්‍යවේදී මහතා හිරුටත් කලියෙන් බස් නැවතුම කරා පැමිණෙන්නේ මේ සිදුවීම කුමක්ද යන්න විමසා බැලීම සඳහායි.
එම බස් නැවතුමට එන ඔහුගේ නෙත ගැටෙන්නේ බස් නැවතුමේ නිදා සිටින වයසක කාන්තාවකි. ඇය අසල උණු වතුර බෝතලයක්, ගමන් මල්ලක් මෙන්ම බෙහෙත් පෙති කිහිපයක් සහ කුඩා වතුර කෝප්පයකි. බැලූ බැල්මෙන් ඇය රෝගී වූ කාන්තාවක් බව පෙනේ. වෘත්තියෙන් ජනමාධ්‍යවේදියකු වූ නිසාත් එම කාන්තාව බැලූ බැල්මට රෝගීව දිස් වූ නිසාත් ඔහු කුඩා රෙදි කැබැල්ලක් පොරවාගෙන නිදාගෙන සිටි ඇයව ඇහැරවා විමසන්නේ ඇය මෙතනට වී සිටින්නේ කුමක් නිසාද යන්නයි.
"අම්මා මොකද මෙතන කරන්නේ?" ඔහු ඇගෙන් ඇසුවේය.
"මම පිළිකා සායනයේ ඉඳන් එන ගමන් මහත්තයෝ."
"අම්මා, පිළිකා රෝහලේ ඉඳලා එනගමන් නම් ගෙදර නොයා මෙතන ඉන්නේ ඇයි?"
"මට යන්න එන්න තැනක් නැහැ මහත්තයෝ. ඒකයි."
"ඇයි මොකද වුණේ?"
"මට දැන් වයස 58ක්. මම පිළිකා රෝගියෙක්. මගේ ගෙදර ඉන්නේ දුවලා දෙන්නයි සැමියයි. මම ඊයේ රෝහලේ සායනයට ගිහින් ආයේ ගෙදරට ආවම දෙන්නා ආයේ ගෙදර එන්න එපා කියලා මාව ගෙදරින් පැන්නුවා. ඉතින් මං කොහේ යන්නද පුතේ?"
ඉන් එහාට දියණියන් දෙදෙනාට එරෙහිව ඇගේ මුවින් කිසිවක් පිටවන්නේ නැත. පිළිකා රෝගයෙන් විඳින පීඩාවේ වේදනාව අභිබවා දරුවන් සිටියදී මහමඟට ඇදවැටෙන්නට වූ නිසා ඇති වූ මානසික පීඩාව ඇගේ වතෙහි පැහැදිලිව සටහන් වී තිබිණි.
දරුණු පිළිකා රෝගයකින් වසර ගණනාවක් සිට පීඩා විඳින තිදරු මවක් වන පී.ධර්මලතා මහත්මිය පදිංචිව සිට ඇත්තේ අනුරාධපුර විහාරහල්මිල්ලෑව විහාරපාළුගම ලිපිනයේ බවත් තමන් පිළිකා රෝගියකු වුවද සිය දියණියන් දෙදෙනාගේ තාඩන පීඩන ඉවසිය නොහැකි බව ඇය ඔහු සමඟ පවසා තිබුණි.
ඒ මහලු, රෝගී අම්මාගේ දෑස කඳුළින් තෙත්ව යද්දී තවත් යම් යම් දේ අසා ඇයව හඬවනවා වෙනුවට ඒ මොහොතේ ගත යුතු හොඳම පියවර ගැනීමට ජනමාධ්‍යවේදී මහතා කටයුතු කර තිබුණි.
ඒ ඉහත එම සිදුවීම අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාට දැන්වීමට කටයුතු කිරීමයි. එම දැනුම්දීමෙන් පසුව උඩමළුව පොලිසියේ කණ්ඩායමක් එම මව හමුවට ගොස් ඇයගෙන් කරුණු විමසීමෙන් අනතුරුව ඇය කවුරුන්ද යන්න තහවුරු කර ගත්තේය. පසුව පොලීසිය විසින් සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියතු බව කියන ඇගේ දියණියගේ නිවසට එම මව ඇරලවීමට කටයුතු කළේය.
එහෙත් පොලීසිය ඇයව නිවසට ඇරලවා විනාඩි කිහිපයක් ගත වීමට මත්තෙන් නැවතත් ඇයව නිවසෙන් නෙරපා දමා ඇති බව ගම්වාසීන් පවසයි. ඒ ඉකුත් පලමු වනදාය. අනතුරුව එම රෝගී මව අසල්වැසියකුගේ නිවසේ එදින රැය පහන් කිරීමට අවස්ථාව ලැබේ. ඉන් අනතුරුව ඉකුත් 02 වනදා උදෑසන රෝගී මව විසින් අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණි පිළිකා රෝගී මව දියණියන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සිවිල් ආරක්ෂක සෙබළියක් බව කියන ඇගේ දියණියට සහ අනෙක් දියණියට පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතත් ඔවුන් දෙදෙනා පොලීසිය මඟහැර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ අනුව හෙට (03) දිනයේ පිළිකා රෝගයෙන් පෙලෙන මව සග ඇගේ දියණියන් දෙදෙනා අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට කැදවා පැමිණිල්ල විභාග කිරීමට නියමිතය.
පැමිණිලිකාර පිළිකා රෝගී කාන්තාවගේ පුත්‍රයා නාවික හමුදාවේ සේවය කරන බවත් ඔහු සහ ලේලිය ඇයට හොඳින් සලකනා බවද පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. දේපල සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම ගැටුම්කාරී තත්වය හටගෙන තිබෙන බවට පොලිසිය තහවුරු කරගෙන තිබෙන අතර ආරවුල විසදීමට දෙපාර්ශවයම පොලිසියට කැඳවිය යුතු බව පොලිසිය සඳහන් කළේය.
කුමන හේතු මත වුවද අද අප ජීවත් වන්නේ මව්පියන්ට සැලකීම වැනි සමාජ වටිනාකම් පිරිහෙමින් යන යුගයකය. ඒ නිසා අද හෙට පමණක් නොව මතු අනාගතය්දීද, "පෝදා පාරේ දමා ගිය ඇමැති ලේකම්ගේ මව පොලිසියට එයි", "ඔත්පල පියා ලෑලි මඩුවක- පුත්තු දෙන්නා සුවිසල් මැදුරක", "85 අම්මා දම්වැලකින් බැඳ බලු කූඩුවක", "මවගේ ඇඟට උණුවතුර දැමූ උපාධිධාරි සංවර්ධන නිලධාරිනිය අත්අඩංගුවට" වැනි කතා අසන්නට ලැබෙනු ඇත.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
0 comments :
Post a Comment