කළුතර මහ රෝහලේ රුපියල් මිලියන 1030 ක වියදමින් ඉදි කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“දුප්පතුන්ට හිතවත් හොඳම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ. මම සමනළ කන්ද නගින්න හැටන් පාරෙන් උත්සාහ කළා. නමුත් දැන් ඉදිකටුපානෙන් කන්ද නගිනවා. පරමාර්ථ වෙනස් කරන්නේ නැහැ. සෑම අවස්ථාවක දීම ඕනෑම වංගුවක් ගහලා යන්න ඕනි තැනට යනවා. පක්ෂ පාට මට වැදගත් නැහැ. අවශ්‍ය පාට නැතිවෙලා ගිහිල්ලා. තිබෙන පාට අරගෙන ඉදිරියට යමින් ජනතාවට සේවය කරනවා.
සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වත්මන් රජය විශාල ලෙස මුදල් වැය කරනවා. ආයෝජකයන් සමග ඍජුව කතා කර අල්ලස් ලබාගැනීමකින් තොරව ආයෝජන දිරිගන්වනවා. යුරෝපා සංගමයට අයත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයත් දිවයිනේ දිස්ත්‍රික්ක 03 ක සෞඛ්‍ය සේවාවන් නංවාලීම සඳහා සහයෝගය ලබාදීමට සූදානම්. ලෝක බැංකුව බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. එම මුදල් වැය කරන්න සිදුව ඇත්තේ පවතින රාජතන්ත්‍රය සමගයි. නීති රීති කතා කරනවා. රාජ්‍ය නිලධාරින් ලිපිගොනු පුරවාගෙන සිටිනවා. පෞද්ගලික අංශය එහෙම නැහැ. රාජ්‍ය සේවාව වෙනස් කරන්න හදනකොට කියනවා දූෂණය කියලා. දූපත් මානසිකත්වයෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ.
“කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර හා හොරණ රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. කොළඹට පමණක් සීමා වී තිබූ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කළුතර, යාපනය, අම්පාර, රාගම සහ ගාල්ල යන ප්‍රදේශවල ළමා රෝහල් ද ඉදිකරනවා. හදිසි අනතුරුවලින් වසරක දී 25000 ක් මිය යනවා. තවත් පිරිසක් ආබාධිත වෙනවා. හදිසි අනතුරකට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් කරා ගෙනයාමට ඉන්දීය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. ජර්මනියෙන් ගිලන් රථ හෙලිකොප්ටර් යානා ද, ආපදා රථ ද ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. කළුතර මහ රෝහල අංග සම්පූර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. එම නිසා කළුතර සහ පානදුර රෝහල් සංවර්ධනය කළ යුතුයි. රෝහල්වල සෑම බද්ධ කිරීමක්ම ආරම්භ කර තිබෙනවා. අපට සිටින විශේෂඥ වෛද්‍යවරු හරිම හොඳයි. ඔවුන් රට හැර යන්නේ අවශ්‍ය පහසුකම් නොලැබීම නිසයි. එම නිසා පහසුකම් ලබාදෙමින් ඔවුන් රඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අවයව ගුවනින් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ආරම්භ කරනවා.”
0 comments :
Post a Comment