ඒ අනුව මුදලට ක්‍රිකට් තරඟ පාවා දීම සම්බන්ධයෙන් සිද්ධියක් අනාවරණ වුවහොත් එය අධිකරණ සීමාවට රැගෙන යාමට මෙරට නීතිමය ප්රතිපාදනයක් නොමැත. දැනට පවත්නා තත්ත්වය යටතේ සිදු කළ හැකි වන්නේ එවැනි තරඟ පාවාදීමකට සම්බන්ධ වූ ක්‍රීඩාවට සම්බන්ධ අයගේ තරඟ තහනමක් හෝ සේවය අත්හිටුවීමක් වැනි ක්‍රියාමාර්ග ගැනීමක් පමණි.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ මුදලට තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් යම් හෙළිදරව් වීමක් සිදුවුවහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නීති සකස් කිරීමට පසුගිය කාලයේදී සාකච්ජාවක් තිබූ අතර එහි ප්‍රතිපලයක් ලෙස 2103 වසරේ අගෝස්තු මස 10 වැනි දින එවකට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ( මහින්දානන්ද අලුත්ගමගේ ) කමිටුවක් පත් කර තිබුණි. එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පත් කර තිබේ. එම කමිටුවේ ලේකම් ලෙස පත් කර තිබුණේ නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතාය.
එම කමිටුව ක්‍රීඩා විශාරදයන්,නීතිඥවරු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ ජාත්‍යන්තර පොලිසියේ නියෝජනයකින්ද සමන්විත වුවකි. මෙම කමිටුව 2014 වසර වන විට සිය කාර්යභාරය නිමකර එය නීති කෙටුම්පතක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට භාර දී තිබේ. එය නම් කර තිබුණේ Prevention of Match Fixing Act යනුවෙනි.
කමිටුවක් පත් කර අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා තීන්දු තීරණ ගෙන තිබුණද එය මෙරට නීතියක් බවට පත්කිරීමට මේ වන තෙක් බලධාරීන් මැදිහත් වී නැත. 2015 වන විට සිදු වූ දේශපාලන වෙනස්කම් සමඟ එම කමිටුව විසිර යන අතර ඔවුන්ගේ වාර්තාවද ( Prevention of Match Fixing Act) අතුරුදහන් තත්ත්වයට පත්වෙයි.
මේ අනුව මුදලට තරඟ පාවා දීමක් සිදුකර ඇති අවස්ථාවක අධිකරණ සීමාවට එය රැගෙන යාමේ අවස්ථාව අහිමි වී තිබේ. මෙරට පවත්නා ක්‍රමවේදය අනුව අධිකරණයෙන් වරදකරු නොවන අයෙකුට නීති පොතට අනුව දඬුවම් දීමේ කිසිදු හැකියාවක් නැත. එවැනි අවස්ථාවක කළ හැක්කේ විනය විරෝධී ක්‍රියාවකට ලබා දෙන තරඟ තහනමක් හෝ සේවය අත්හිටුවීමක් වැනි යමක් පමණි.
මුදලට තරඟ පවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ සම්මත වූ නීතියක් නොමැති නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වුවද ඊට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වීමට හැකියාවක්ද නැත. මේ තත්ත්වය මත බුකී කරුවන්ට ඕනෑ හැටියට පැමිණ සූදුවේ යෙදිය හැකිය. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ කිසිදු හැකියාවක් නැත්තේ ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති හෙයිනි.
ඒ අනුව අල්ජසීරා මාධ්‍ය හරහා ලොවට අනාවරණය කළ ශ්‍රී ලංකාවේදී සිදුවූ ක්‍රිකට් තරඟ මුදලට පාවා දීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පැවසුවද පවත්නා තත්ත්වය තුළ එය අමුම අමු කෙබරයකි. එම වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණද ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි දෙයක් නොමැත්තේද නීතිමය ප්‍රතිපාදන නොමැතිකම නිසාය. එය ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද හොඳින්ම දනී. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව CID ට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නිහඬව සිටීමට වඩා යන්තම් හෝ ඇඟ බේරා ගැනීමට ඉන් හැකිවනු ඇතැයි සිතා විය හැකිය.
එහෙත් ඇතැම් වෙලාවට විලිවසා ගැනීමට අතේ තිබෙන ලේන්සුව ප්‍රමාණවත් නොවන බවද කවුරු කවුරුත් දත යුතුය.
0 comments :
Post a Comment