විහිළුවක් කරන්න ගිහින් බස් 2 ක් හැපී 60 කට තුවාලයි

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද (09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මඟින් මේ වනවිට ගලේවෙල, කුරුණෑගල, ගොකරැල්ල සහ දඹුල්ල යන රෝහල්වලට ඇතුළත්  කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ වන් අතර රියදුරන් දෙදෙනාද සිටින අතර ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීන් විස්සක් පමණ බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ වන අතර මෙම එක බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලාද අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලාද ධාවනය වෙමින් තිබී ඇත. තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුවී ඇත.

බස් රථයේ මගීන් කියා සිටියේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක සමාන්තරව යන්නට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුවු බවයි. බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී සංඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සුලභ සිදුවීමක් බව ද  වාර්තා විය. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් කියා සිටියේ එකවරම විශාල ශබ්දයක් ඇසී බලන විට මගීන් කෑ ගසන ශබ්දය ඇසුණු බවයි. අනතුරුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලට රෝගීන් පටවා ගලේවෙල රෝහලටත් ගොකරැල්ල රෝහලටත් යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි.

මෙම අනතුරට හේතුව රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ විහිළු කරමින් මාර්ගයේ ගමන් කිරීමට යෑම බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගොකරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.
බස් රථ දෙකේම ඇතුළත ආසන රැසක් ගැලවී ඉදිරියට විසි වී තිබුණු බවත් එම නිසා බොහෝ මඟීන්ගේ අත් පා කැඩී මුහුණුවලට බරපතළ හානි සිදු වී ඇති බවත් වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසි පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget