හැව්ලොක් ටවුන් මසාජ් සෙන්ටර් එකින් කප්පම් ඉල්ලූ කොස්තාපල්වරු ගැන පරීක්ෂණ

වැටලීමක් කරන මුවාවෙන් හැව්ලොක් ටවුන් පෙදෙසේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි රැඳී සිටි රූමත් කාන්තාවක් සමඟ සතුටු වී කළමනාකරුගෙන් රුපියල් පනස් දහසක කප්පම් මුදලක් ලබා ගත් බව කියන වැල්ලවත්ත පොලිසියේ කොස්තාපල්වරුන් තිදෙනකු
සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලද තොරතුරකට අනුව ඒ මහතාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ උපදෙස් මත කළ මූලික පරීක්ෂණවලදී එම කොස්තාපල්වරුන් තිදෙනා ඒ සඳහා ගොස් තිබුණේ ත්‍රිරෝද රථයකින් බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.


2018 ජුනි 06 වැනි දින පොලිස් කොස්තාපල්වරයකු සම්බාහන මධ්‍යස්ථානයට ගොස් එහි රැඳී සිටි රූමත්ම කාන්තාව තෝරාගෙන කාමරයක් වෙන් කරගෙන තිබූ බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම රූමත් කාන්තාව ලවා තම අවශ්‍යතාවන් සපුරාගත් කොස්තාපල්වරයා විනාඩි විස්සකට පමණ පසු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබාදෙන මුවාවෙන් ඒ ආසන්නයේ රැඳී සිටි තවත් කොස්තාපල්වරුන් දෙදෙනකු එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය කියයි.

තමන් පොලිස් නිලධාරීන් බවත් නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම් රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙන ලෙසත් කළමනාකරුට පවසා ඇතැයි පොලිසිය කියයි.
තමන් සන්තකයේ එතරම් මුදලක් නැතැයි කළමනාකාරවරයා පැවැසීමත් සමඟ 'මේකිගේ චේන් එක උකස් කරලා හරි අපිට සල්ලි දීපන්. නැත්නම් යමන් පොලිසියට' යැයි රූමත් කාන්තාව පෙන්වා ඇයගෙන් සතුටු වූ කොස්තාපල්වරයා කළමනාකරුට තර්ජනය කරමින් පවසා ඇති බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කළ හැකි දෙයක් නොවූයෙන් එම කාන්තාවගේ රන් මාලය ඉල්ලා ගත් කළමනාකරු කොල්ලුපිටියේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට එය උකස් කර රුපියල් පනස් දහසක් ලබාගෙන කොස්තාපල්වරුන් තිදෙනා අතට පත් කළ බව සිදු කරන ලද විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී ඇත.


මේ වනවිට රන් මාලය උකස් තැබූ කොල්ලුපිටිය උකස් මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු හා කොස්තාපල්වරුන් එදින සිවිල් ඇඳුමින් සැරසී පැමිණි බවටද අනාවරණය වූ බව විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකු පැවැසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරුගෙන් හා එහි රැඳී සිටි කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් කප්පම් ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබන්නේ පොලිස් පරීක්ෂක ගුණතිලක මහතාය.

කොළඹ _ එම්.සී. පෙරේරා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment