මාංචු සහිතව රෝහලින් පැන ගිය අලව්ව ප්‍රා. මන්ත්‍රි චමින්ද වීරවංශ හෝමාගමදී අල්ලයි

බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකුගේ ආරක්‍ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ රඳවා සිටියදී ඉකුත් 17 වැනි දින අත් මාංචු සමඟ පලාගිය අලව්ව ප්‍රාදේශීය සභාවේ සැකකාර මන්ත්‍රිවරයා එදිනම රාත්‍රි හෝමාගමදී
අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
මෙලෙස පලාගොස් තිබුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන පොල්ගහවෙල, යටිගල්ඔලුව, හාල්පන්දෙණිය පදිංචි කරුණා හේවගේ චමින්ද වීරවංශ (35) මන්ත්‍රිවරයාය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර මන්ත්‍රිවරයාට දමා තිබූ අත් මාංචු ඔහු විසින් කම්බියක් ආධාරයෙන් ගලවා ගෙන තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 16 වැනි දින රාත්‍රියේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයට බණ්ඩාරගම ගැලනිගම පිවිසුමෙන් ඇතුළු වීමේදී මන්ත්‍රිවරයා පැදවූ කැන්ටර් රථයේ වැඩිපුර මගීන් හා එහි පිටුපස විදුලි ලාම්පු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පිවිසුමේ රාජකාරි කළ පොලිස් නිලධාරියා නැවතීමට සංඥා කර ඇතැයි පොලිසිය කියයි.

එම අණ නොතකා මන්ත්‍රිවරයා කැන්ටර් රථය ධාවනය කර කොළඹ පිටත වට රවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේදී එය නවතා එහි රාජකාරි කළ කොස්තාපල්වරයා සිය රාජකාරිය කිරීම සඳහා සූදානම් වීමේදී මන්ත්‍රිවරයා හා කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර මන්ත්‍රිවරයා කොස්තාපල්වරයාට පහරදී ඔහු හැඳ සිටි නිල ඇඳුමටද හානි කර තිබිණි.

එහිදී සැකකාර මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට අනෙකුත් පොලිස් නිලධාරීන් කටයුතු කර තිබූ අතර ඔහු හා කොස්තාපල්වරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
කැන්ටර් රථයේ සිටි සෙසු පුද්ගලයන් තිදෙනා එය පිවිසුම අසල දමා එහි යතුරත් රැගෙන පලාගොස් තිබූ බව පොලිසිය කියයි.


හෝමාගම රෝහල වෙත පැමිණි කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකාර මන්ත්‍රිවරයා ලබන 22 වැනි දින රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන තුරු නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු යටතේ රදවා සිටිය අවස්ථාවේ මෙලෙස පලාගොස් තිබිණි.

ලොරියේ යතුර රැගෙන පලාගිය පුද්ගලයන් තිදෙනාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි. නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංජුල ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

පොලිස් ආරක්‍ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ රඳවා සිටියදී අත් මාංචු සමඟ පලායෑම සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

කොළඹ - එම්.සී. පෙරේරා,පනාගොඩ - චම්පා ජීවන්ති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment