සයිටම් සේවකයින්ට වැටුප් නොගෙවා අතුරුදන් වූ නෙවිල් ප්‍රනාන්දු : බේකරියකින් මතු වෙයි.


මාලඹේ සයිටම් ආයතනයේ සේවකයින්ට හිමි ජූලි මාසයේ වැටුප මෙතෙක් ගෙවා නොමැති අතර, වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ආයතනයේ පාලනාධිකාරිය කිසිදු සේවකයෙක් හමුවේ කරුණු දැක්වීමක් හෝ කර නොමැත.

සේවකයින් මේ සම්බන්ධයෙන් විමසූ විට දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට යොමු කළ නිසා තවදුරටත් සේවකයින් සයිටම් ආයතනයක් නොමැති හෙයින් වැටුප් නොගෙවන බවයි.

එසේම වැටුප් අවශ්‍ය පුද්ගලයින් තමතමන්ගේ වැටුප් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා ගන්නා ලෙස ද එහි සභාපතිවරයා හා ඔහුගේ ඥාතීන් එහි සේවකයින්ට තර්ජනාත්මකව පවසා ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කිසිවෙක් සේවකයින් හමුවේ පෙනී නොසිටින අතර සේවකයින්ට පැමිණීමට නොහැකි වන පරිදි දොරවල්ද අගුල් දමා තිබේ.

සයිටම් ආයතනය නෙවිල් ප්‍රනාන්දු හා ඔහුගේ මිණිබිරිය විසින් පාලනය කළ අතර, එහි අනුප්‍රාප්තික හිමිකරුවා ලෙස හිමාලි ජයතිලක නමැති තම මිණිබිරිය පත් කර ඇති බව නෙවිල් ප්‍රනාන්දු විසින් ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියේ සයිටම් රෝහල රජයට පවරා දීම නැමැති රංගනය පැවැති දිනයේයි.

කෙසේ නමුත්, මේ වන විට අනුප්‍රාප්තිකයින් තබා නෙවිල් ප්‍රනාන්දු හෝ සොයා ගැනීමට කිසිදු සේවකයකුට නොහැකි වී ඇති අතර දුරකතන ඇමතුම් වලට ද ප්‍රතිචාර දක්වමින් පුළුවන් දෙයක් කරගන්නයැයි තර්ජනය කිරීම පමණක් සිදු කරයි.

නෙවිල් ප්‍රනාන්දු විසින් හෝකන්දර ප්‍රදේශයේ නවින තාක්ෂණයෙන් හා නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත බේකරියක් ඉදිකර එය විවෘත කිරීමට සූදානම් වන බව වාර්තා වන්නේ එවැනි පසුබිමකය.

මේ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කර යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ඇති අතර ඊට ද නව සේවකයින් බදවා ගෙන ඇත. 

වැටුප් ගෙවීමට මුදල් නොමැති බව පවසා සයිටම් ආයතනයෙන් අතුරුදන් වී සිය සේවකයින් සමග හැංගිමුත්තන් ක්‍රීඩා කරමින් සිටින නෙවිල් ප්‍රනාන්දු හෙට දිනයේ බේකරියකින් මතු වීම පිළිබද සියලු සේවකයින් දක්වන්නේ විමතියකි. 

ස්ථීර රැකියාවන්හි නියැලෙමින් සිටියදී ලබා ගත් ණය, වාහන ලීසිං, නිවාස කුලී ආදී වියදම් පමණක් නොව ඇතැම් පුද්ගලයින්ගේ දෛනික අවශ්‍යතා වන හාල් පොල් හෝ සපයා ගැනීමට නොහැකිව එහි සේවකයින් අන්ත අසරණ වී ඇත.

තත්ත්වය එසේ වුවද, නෙවිල් ප්‍රනාන්දුගේ නැති සල්ලි ඉදිරියේ දී හවුසින් ස්කීම්, ඉඩම්, මුද්‍රණාල හා නිවාස සංකීර්ණ ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මතු වීමට නියමිත බව ද ඇතැම් ආරංචිමාර්ග පවසයි.

හිතුවක්කාරී හා අසංවිධානාත්මක ආයතනයක් නිර්මාණය කරමින් දරුවන් දහස් ගණනකගේ ජීවිත දශකයකට වැඩි කාලයක් විනාශ කරමින් මුදල් ගැරූ දොස්තර නෙවිල් ප්‍රනාන්දු, සිය ආයතනයේ නීත්‍යානුකූල සේවකයින්ගේ ජීවිත සමග දැන් සෙල්ලම් කිරීම පිළිබද සියලු පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment