අතුරුදන් තරුණයින් 11 දෙනා නාවික කඳවුරේ සිටි බවට සාක්ෂි [VIDEO]
ජාත්‍යන්තර පාසල් සිසුන් 06 දෙනකු ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා රහස් කඳවුරක රඳවා සිටි බවත් අනතුරුව ඔවුන් සියලු දෙන ඝාතනය කර ඇති බවත් නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ ප්‍රකාශයකින් අනාවරනය වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික නාවික නිලධාරියකු වන රියාල් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා විසින් මිට දින කිහිපයකට පෙර ලබාදී ඇති කට උත්තරයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ පෙරේදා 27) ඉදිරිපත් කරනු ලැබූ අතර එමගින් මෙතෙක් අනාවරණය නොවූ රහස් රැසක් හෙළිදරව් වී ඇත.
වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපතිව සිටියදී ඔහුගේ ADC (ප්ලැග් ඔෆිසර් - flag officer) ලෙස කටයුතු කර ඇත්තේ රියාල් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතාය.
තමා නාවික හමුදාවේ රාජකාරි කල සමයේදී එක් අවස්ථාවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් දුන් නියෝගයක් මත අදාල තරුණයින් නාවික කඳවුරක රඳවා සිටින්නේ දැයි සොයා බැලු බව සඳහන් කරන හිටපු රියාල් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා, අනතුරුව ඒ ගැන සොයා බැලු තමා එම තරුණයින් ත්‍රිකුණාමලය ගන්සයිඩ් භූගත සිර මැදිරියේ රඳවා සිටින බව නාවික හමුදාපතිවරයාට වාර්තා කල බවත් පවසයි.
කෙසේවුවද එම තරුණයින් මරා දමා ඇති බව ඉන් දින දෙකකට පසු දැනගත් බව ප්‍රකාශ කර ඇති ශමාල් ප්‍රනාන්දු මහතා, ''නාවික හමුදාපතිතුමා මට ඒ ළමයින් ගැන හොයා බලන්න කියනකොට ඒ ළමයින් ජිවතුන් අතර හිටියා. ඉන් දින දෙකකට පසු ඒ ළමයි මරලා'' යයි ද සඳහන් කර තිබෙන බව වාර්තාවේ.
හිටපු ඇමති ෆිලික්ස් පෙරේරාගේ මැදිහත්වීම :
එවකට නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ මහතා මෙම සිද්ධියට මැදිහත්වන්නේ එවකට අමාත්‍යවරයකුව සිටි ෆිලික්ස් පෙරේරා මහතාගේ ඉල්ලීම මතය.
මෙසේ පැහැරගැනීමට ලක්ව ඇති රාජිව් නාගනාදන් යන සිසුවාගේ පියා ඇමති ෆිලික්ස් පෙරේරා මහතාගේ සමීපතම හිතවතකු වන අතර, සිය දරුවා නාවික හමුවවට සම්බන්ධ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගැනීමකට ලක්ව ඇති බවට සිය මිතුරා හඬා වැටෙමින් කල ඉල්ලීම හමුවේ සංවේදීවී ඇති ඇමතිවරයා මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාගෙන් මේ දරුවා ඉන්න තැනකින් සොයා දෙන ලෙස ඉල්ලා තිබිණ.
මෙසේ අතුරුදන් වීමට ලක්ව ඇති රාජිව් නාගනාදන් යන සිසුවාගේ මව වන සරෝජනි නාගරාජන් මහත්මිය සහ ඇගේ සැමියා, ඔවුන් වැනිම තවත් මව්පියවරුන් කිහිප දෙනෙකුත් සමග තම දරුවන් අතුරුදහන් කළවුන්ට එරෙහිව දස වසකට වැඩි කාලයක් හුදකලා අරගලයක් නිරත වී සිටිති.
ජනාධිපති මෛත්‍රීගේ ස්ථාවරය : 'රණවිරු දඩයමක් නැහැ'
ත්රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සෙබලාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනාගේ අභිමානය සුරැකීමට තම රජය නිරන්තරයෙන් කැපවී සිටින බව නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේ අවධාරණය කර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රණවිරුවන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප්‍රසාද නොඅඩුව ලබාදෙන බවට සහතිකවිය.
යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුව ද යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සුහඳ හමුවේදී අවධාරණය කළේය.
2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව ද ඔහු සදහන් කළේය.
යුද්ධයෙන් බාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“මගේ ආරක්ෂක හමුදා”
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 25 දා නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ තුන් වැනි සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් ඉදිරියේ මහත් ප්‍රශංසාවට ලක් කළේය.
ජනාධිපතිවරයා එහිදී ත්‍රිවිධ හමුදාව පිළිබඳව උදම් ඇනුවේ “මගේ ආරක්ෂක හමුදා” ලෙස හඳුන්වමිනි.
“ශ්‍රී ලංකාවේ ස්ථීර සාමයක් ඇති කිරීම සඳහා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් අපේ ආරක්ෂක හමුදා කරනු ලැබු ඒ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තුතිවන්ත වෙනවා රටට සාමය ඇති කරන්න ඒකීය භාවය ශක්තිමත් කරන්න ඒ කරන ලද මහා කැපවීම පිළිබඳව,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
0 comments :
Post a Comment