ජොන්ස්ටන්ගෙ පුතා මහපොළ අරමුදලින් බී.එම්.ඩබ්ලිව්. දෙකක් අරන් - ඇමති විජේදාස


මහපොළ භාරකාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා පිහිටු වූ නෙට්වෙල්ත් කෝපරේෂන් සහ නෙට්වෙල්ත් සිකියුරිටීස්  යන සමාගම්වල කළමනාකාරිත්වයෙන් ඉවත්කොට සෘජුවම අරමුදලේ මුදල්
රජයේ බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල පමණක් මින් ඉදිරියට ආයෝජනය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. මීට හේතුවී ඇත්තේ 2017 දෙසැම්බර් 31 දා වන විට මහපොළ අරමුදලට මේ සමාගම් දෙකේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෘජු හා වක්‍ර ආදායම් ලෙස රුපියල් බිලියන 2.5ක ආදායම් අහිමි වීම බවද ඇමැතිවරයා පැවැසුවේය.

වර්ෂ 2011දී එවකට වෙළෙඳ අමාත්‍යාංශය භාරව කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා එම සමාගම් දෙකේම සභාපතිත්වය දරමින් එම අරමුදලේ මුදල් යොදවා පෞද්ගලික ප්‍රයෝජනය

සඳහා බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 2ක් මිලට ගෙන ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

එසේම නෙට්වෙල්ත් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂ ධුරය දැරූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස ක්‍රියා කරන වෙල්ත් ට්‍රස්ට් සමාගම සමඟ බැඳුම්කර ගනුදෙනු සිදුකර ඇති බවත් එය ළබැඳියාවේ ගැටලුවක් සහිත ගනුදෙනුවක් බවත් ඊට හේතුව එම ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමේ අධ්‍යක්ෂවරයා ආචාර්ය වික්‍රම වීරසූරියගේ පුත්‍රයා වීම බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.

මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් හා සාකච්ඡා කොට අරමුදල අවභාවිත කළ අය සම්බන්ධයෙන් පියවර ගන්නා බවත්, ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මින් ඉදිරියට මහපොළ අරමුදලේ සියලු මුදල් පොදු දේපළ පනතට යටත් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගත් බවත්, ඊට හේතුව සිදුවන අක්‍රමිකතා වංචා වැළැක්වීමට නොහැකි, දැඩි නීති පැනවීම අත්‍යවශ්‍ය නිසා බවත් හෙතෙම අවධාරණය කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (31දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

හර්ෂණී අර්සකුලරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment