අපි ඒෂියන් ගේම්ස් පැරදුනේ කල්ලිවාදය නිසා - ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා


බහුතර කැමැත්ත අනුව ආසියානු තරගාවලියට සහභාගි වීම සඳහා විශාල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසකට අවස්ථාව ලබා දුන් නමුත් එයින් කිසිදු සාර්ථකත්වයක් නොලැබූ හෙයින් තමන් හැන්ද අතට ගෙන ඉදිරියේදී
තද තීරණ ගැනීමට සූදානම් වන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතාගේ නිල නිවෙසේදී පසුගියදා (31දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ මුස්තාපා මහතා "මෙවර ආසියානු තරගාවලියට සහභාගිවෙලා අපි අපේ තත්ත්වය තේරුම් ගත්ත වගේම අපේ ක්‍රමවේදයේ අඩුවක් තියෙන බවත් පිළිගන්න සිද්ධ වුණා. මෙතනින් ඉදිරියට යන්නෙ කොහොමද කියලා අපි දැන් සිටම හිතන්න ඕන. ඉන්දුනීසියානු ක්‍රීඩා ඇමැතිවරයා මට පොරොන්දු වුණා

අපේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට මෙහෙ (ඉන්දුනීසියාවේ) පුහුණුවීම් කරන්න අවස්ථාවක් දෙන්න කැමැතියි කියලා" යැයි පැවැසූ ඇමැතිවරයා ක්‍රීඩා සංගම්වල කල්ලිවාදය ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ මෙම පසුබෑමට සෘජුව වගකිව යුතු බවද පෙන්වා දුන්නේය.

"අපේ ක්‍රීඩා සංගම් කල්ලිවාදයට යටත්වෙලා ඉන්නවා. සංගම්වල නිලධාරීන්, පුහුණුකරුවන් අතර ඇති වෙලා තියෙන මේ බෙදීම ඉතාමත් කනගාටුදායකයි. මේ හැම කෙනාම ක්‍රීඩා නීතිය දැඩි ලෙස උල්ලංඝනය කරනවා. ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවන්ට කිසිම ක්‍රීඩා සංගමයක නිලතලයක් දරන්න බැරි වුණත් ඒ උදවිය අද තනතුරු දරනවා. මේ සම්බන්ධයෙන්ද ඉදිරියේදී මම නිවැරදි තීරණ ගන්නවා. ක්‍රිකට් හැරුණාම පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලෙත් අපිට පදක්කම් තිබුණේ නැහැ. මෙවරත් නැහැ.

ඒ නිසා ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියේදී මට අමාරු තීරණ ගන්න සිද්ධ වෙනවා. මෙම ආසියානු තරගාවලිය සඳහා පදක්කම් ගත හැකි පිරිසක් යවන්න ඕන කියන මතයේ මම හිටියා. ඒත් ක්‍රීඩා සංගම් මට ඇවිත් කිව්ව "අපි හොඳයි. අපි ගියේ නැත්නම් අපිට පදක්කම් නැතිවෙනවා" කියල කිව්ව නිසාත්, ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීමත් අනුවයි 175 දෙනකු යවන්න මම තීරණය කළේ. කොහොම වුණත් මෙවර මේ වගේ පිරිසක් සහභාගි වුණ එකත් හොඳයි. ඒ ක්‍රීඩකයන් ඔවුන්ගේ සැබෑ තත්ත්වය තේරුම් ගත්තා. සියලු දෙනාම දැන් තත්ත්වය බැලුවනේ. දැන් මට තීන්දු තීරණ ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා ඉදිරියේදී මම තදින්ම මගේ මතය ක්‍රියාත්මක කරනවා" යැයිද පැවැසීය.

විචිත්‍ර වීරසිංහ _ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment