මහරගම කුණු වෙයි : රටේ දෙවන විශාලතම ආර්ථිකය අනතුරේ!



[File Photo]

මහරගම නගරයේ කසළ ගොඩගැසීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.

මහරගම නගරයේ එලෙස කසළ ගොඩගැසී ඇත්තේ, නගර සභාවේ සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙනි.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා විසින් කම්කරුවන් සිව් දෙනෙකුට පහර දීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නගර සභාවේ සේවකයින් දින කිහිපයක සිට සේවයට වාර්තා කර නොමැත.

මේ හේතුවෙන් නගරයේ බොහෝ ස්ථානවල කැළි කසළ ගොඩගැසී තිබේ.

මහරගම නගර සභාව තුළ හට ගෙන ඇති මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදී නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගෙන් කරුණු විමසීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය.

රටේ දෙවන විශාලතම ආර්ථිකය අනතුරේ 

මේ අතර නිවේදනයක් නිකුත් කරන නාගරික මන්ත‍්‍රී ධනුෂ්ක රාමනායක මහතා පවසන්නේ කොළඹට පසු ශ‍්‍රී ලංකාවේ දෙවෙනි විශාලතම  වෙළෙඳ ආර්ථිකය පවතින මහරගම නගරය අකර්මණ්‍ය වීමට  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ එම දේශපාලන අධිකාරිය වගකිව යුතු බවයි.

ඒ මහතාගේ නිවේදනයේ කොටසක් පහතින්,

"රෙදිපිළි කර්මාන්තය හා අනෙකුත් ක්ෂේත්‍ර වගේම මහජනතාවට අවශ්‍ය දෛනික පොදු සේවාවන් ලබාදීම, විශේෂයෙන් කැලි කසළ ඉවත් කිරීම, ඒ වාගේම සෞඛ්‍ය සේවා කටයුතු, විදුලි ඉංජිනේරු සේවා කටයුතු, පරිපාලන සේවා කටයුතු අඩපණ වීමෙන් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවීමයි. පවතින තත්ත්වය සමනය කිරීම භාරගත යුත්තේ කවුරුන්ද කියනවාට වඩා, මේ තත්ත්වයන්ගෙන් මුදවාගෙන  මහරගම නගර සභාව විධිමත් නගර සභාවක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දැන් දැන් වඩ වඩාත් වැඩි වශයෙන් දැනෙන කාලයක් බවට පත් වී ඇත. 

පසුගිය පළාත් පාලන මැතිවරණ කාල සීමාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වී බයිසිකලය ලකුණ ජයග‍්‍රහණයට වංචනිකව දායකත්වයක් ලබාදී ප්‍රෝඩාකාරී ලෙස පත් කරපු කණ්ඩායමකින් බලයට පත් මේ කණ්ඩායම විසින් අද වන විට මහරගම සමස්ථ පරිපාලන කටයුතු බිඳ දමමින්, විනය කඩ කරමින් මේ කටයුතු සිදු කරමින් සිටියි.

දේශපාලන අධිකාරිය වේවා, ඉහල නිලධාරීන් වේවා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පහළ නූගත් මිනිසුන් සහ ආයතනික සුළු සේවකයින් පාවිච්චි කිරීම ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය වී තිබේ. තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සාමාන්‍ය ජනයාට මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මත්පැන් වැනි  ඕනෑම දෙයක් හෝ අනිසි ආකාරයෙන් මුදල් ලබා දෙමින්, එසේත් නොමැතිනම් වෙනත් පහසුකම් ලබාදෙමින් තමන්ගේ හුදු ලාභ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනීම වත්මන් කූට දේශපාලකයන්ගේ තත්ත්වය වී තිබේ. මේ කිසිඳු තත්ත්වයක් අපට අනුමත කළ නොහැක. නිලධාරියෙකුගෙන් හෝ සේවකයෙකුගෙන් විනය විරෝධි කි‍්‍රයාමාර්ගයක් සිදුවී ඇත්නම් ඊට කටයුතු කළ යුත්තේ ආයතන සංග‍්‍රහයට සහ විනය පටිපාටියට අනුවයි. පහර දීමට කිසිදු බලයක්, කිසිදු නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට ලබා දී නොමැත.


මේ තත්ත්වයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ එම දේශපාලන අධිකාරිය වගකිව යුතුයි. සමස්ථ මහරගම දේශපාලන භේදයකින් තොරව පොදු සේවා සපයන කේන්ද්‍රස්ථානයක් සේම ශක්තිමත් ආර්ථිකයක් සහිත ප‍්‍රධාන නගරයක් බවට පත් කිරීමට ඇප කැප වන සියළු දෙනා ඇතුළු අප සැම උද්ගතව ඇති මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම හෙළා දකිමු."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment