මහින්ද අගමැති කරන යෝජනාව ප්‍රතික්ෂේපයි : අගමැති සිහිනය යළිත් බොඳවේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ප්‍රතික්‍ෂේප කර ඇතිබව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ වාර්තා කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයන් හමුවෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර අලූත් ආණ්ඩුවක් පිහිටුවන ලෙස යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු එම පුවත්පතට පවසා ඇත. 

ශ්‍රීලනිපයට දේශපාලන මණ්ඩලයක්

මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙවැනිදේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජිතයන් 15 දෙනකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයේ තීරණ ගැනීමට දැනට පවතින මධ්‍යම කාරක සභාවට අමතරව මෙම මණ්ඩලය පිහිටුවීමට නියමිතය.

හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මෙම දේශපාලන මණ්ඩල යෝජනාව ද ඇතුළත් වෙයි. 

පක්ෂ විධායක සභාවෙත් සමස්ත ලංකා කාරක සභාවෙත් අනුමැතිය ලැබුණු පසුව පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර මෙම මණ්ඩලය පිහිටුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

 දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ඉදිරි මාස 03 ඇතුළත ක්‍රියාත්මක කිරීමට ද පක්ෂය තීරණය කර ඇති බවද හෙතෙම කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment