‘‘දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට දැන් කාලය එළඹ තිබේ.’’ - ඇමති චම්පික රණවක
රුපියල අවප්‍රමාණය වීම ගැන විශාල භීතිකාවක් රටේ ඇතිකර තිබෙනවා. එම ප්රශ්නය තිබෙන්නේ භාණ්ඩාගාරයට නෙමෙයි. භාණ්ඩාගාරයට එමගින් ලොකු ගැටළුවක් නැහැ. භාණ්ඩාගාරය ණය ගෙවනවා වගේ දෙගුණයක් ආනයනවලින් බදු ලැබෙනවා. ගැටළුව තිබෙන්නේ විදේශවලින් අපේ ජනතාවට ගෙන එනු ලබන භාණ්ඩවල මිල ඉහළ යාම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටළුවයි. අපේ රටේ ජනතාව උපයන විදේශ මුදල් සහ විදේශ වියදම් අරගත්තට පසුව අපේ ජංගම ගිණුමේ වෙනස ඩොලර් බිලියන 2 යි. ඩොලර් මිලියන 2,000 ක මේ හිඟය ගැන කතා කරන කොට ඩොලර් මිලියන 1,800 ක කිරි, සීනි, ඇපල්, මිදි වැනි ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වනවා. ඒ වගේම මේ රටේ නිපදවන්න පුළුවන් ඒවත් සමග ඖෂධ ගෙන්වනවා තව ඩොලර් මිලියන 500 ක. වාහන ගෙන්වනවා ඩොලර් මිලියන 1000 ක, ඒ වගේම අපේ අය විදේශ ගතවෙන ප්‍රමාණය ගත්තහම අද ඩොලර් මිලියන 1,600 ක් ලංකාවේ සල්ලි රට යනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන්නේ 4,000 යි. ඒ නිසා මේ අර්බුධය අපට ජයගන්න පුළුවන් යැයි ඇමති චම්පික රණවක පවසයි.
අපේ ජනාධිපතිතුමා ආරම්භ කළා ඒ කාලේ අපි වවමු රට නගමු කියල වැඩපිලිවෙලක්. මේ රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි දේ අපි නිපදවූවොත් අපට මේ මුදල් මේ රට ඇතුළෙම ඉතිරි කර ගන්න පුළුවන් වෙනවා. ආනයන ආදේශක ඉලක්ක කරගෙන අපි වැඩකරන්න ඕනේ. ඉටි පන්දම්, හඳුන්කූරු, හිඹුටු, මාදම් චීනයෙන් ඉන්දියාවෙන් ගෙන ඒමට නම් අපේ වටිනා විදේශ විනිමය වැය කරන්නේ ඒ සඳහා අනෙක් පැතිවලින් අපට වන්දි ගෙවීමට සිදුවෙනවා. ඒ නිසා මේ වාසිය අවාසිය, වාසියක් බවට පරිවර්ථනය කරගෙන ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න, දේශීය ව්‍යවසායකත්වය ශක්තිමක් කරන්න දැන් කාලය ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඒ සඳහා අර පරණ හොරු කැඳවලා හරියන්නේ නැහැ. ඒක මේ අලූත් බලාපොරොත්තු සහිත, අලූත් ගමනක් සමග ගොඩනැගිය යුතු කාරණයක්.
ශ්‍රී ලංකන්, මිහින් ලංකා, හම්බන්තොට සම්මන්ත්රණ ශාලා, ක්‍රිකට් ක්‍රීඩාංගන, වෙළඳපොලවල්, ගුවන්තොටුපලවල් වගේ ජනතාවගේ ධනයට ප්රතිලාභ නොලැබෙන කිසිම සංවර්ධන ව්‍යාපාරයක් අපේ අමාත්‍යාංශයෙන් අපි දියත් කර නැහැ. සෑම සංවර්ධනයකින්ම රටට, ඔබට, ප්‍රතිලාභය ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, රජය බලයට පත්වෙලා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා ලබාදුන් බොහෝ පොරොන්දු අපි ඉටුකර තිබෙනවා. විශේෂයෙන්ම තිබූ අත්තනෝමතික ජනාධිපති ක්‍රමය වෙනස් කළා. ස්වාධින අධිකරණයක් ඇති කළා. කාටවත් රාජ්‍ය බලය පාවිච්චි කරන්න, පෞද්ගලික බලය පාවිච්චි කරන්න බැරි විදිහට ස්වාධින මැතිවරණ කොමිසමක් ඇතිකර එය ශක්තිමත් කළා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමක් ඇතිකර රාජ්‍ය සේවය නිදහස් කළා. පොලිස් කොමිසමක් ඇතිකර පොලිස් සේවය නිදහස් පොලිස් සේවයක් බවට පත් කළා. ඒ වගේම රට පුරා විශාල මාධ්‍ය නිදහසක් ලබාදුන්නා. ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් කිහිප දෙනෙක් ඒක පාවිච්චි කර ඉතාමත් දුෂ්ඨ මාධ්‍ය කි‍්‍රයාවලියක නියැලූනත් රජය පොදුවේ මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් වලින්, පහරදීම්වලින් තොරව නිදහස ලබාදී තිබෙනවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඕනෙම කෙනෙකුට රටේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සිට ප්‍රශ්න කරන්නට පුළුවන්. ඒ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිය වෙන කවරදාටත් වඩා අපි ශක්තිමත් කර තිබෙනවා. ආර්ථික ක්ෂෙත්රයෙත් අපි දුන් පොරොන්දු ඉටුකළා. හුඟ දෙනෙක් නොකරණ දෙයක් පඩි වැඩි කිරීම, රාජ්‍ය අංශයේ පඩි රුපියල් දහ දාහකින් පඩි වැඩි කළා. පොලීසියේ, හමුදාවේ ආරක්ෂක අංශවල වැටුප් 2020 වන විට දෙගුණයක් බවට පත් වෙනවා. ඊට සාපේක්ෂව විශ්‍රාම වැටුප් වැඩිකළා. ඒ වගේම මෙපමණ කාලයක් රටේ සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් තිබුනේ නැහැ. අපි ප්රමුඛතාවයන් සකස් කළා. ඉතා අපහසුවෙන් උවත් රට ගිලගෙන තිබූ මහා ණය කන්ද ගෙවා දැමීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපි දියත් කළා. ඒ වගේම අපේ විවිධ ක්ෂෙත්රවල ආදායම් ලැබෙන විධිමත් සංවර්ධනයකට යොමුකර තිබෙනවා. මත්තල ගුවන් තොටුපල, ඒ වගේම සූරිය වැව ක්‍රීඩාංගනය, හම්බන්තොට වරාය, සම්මන්ත්රණ ශාලාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ සාපරාධි සංවර්ධන අපරාධ එකක්වත් මේ ආණ්ඩුව සිදු කර නැහැ.
ඒ වගේම ජනතාව පැහැර ගැනීම් ආදියෙන් කර තිබෙන අපරාධ කරලත් නැහැ. ඒ පැත්තෙන් අපි මේ රට යුක්ති සහගත කර තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට වටකර තිබුණේ. අපට අපනයන කරුවන්ට විශාල ප්‍රශ්න පැන නැගී තිබුණා යුරෝපා සංගමය ජී.එස්.පී. සහනය උදුරා ගැනීම නිසා. ඇමරිකා එක්සත් ජනපදය සහනය උදුරා ගැනීම නිසා. වේදිකාවල ඇමරිකාවට, යුරෝපයට විරුද්ධව බෙරිහන් දුන්නට වැඩක් නැහැ. රටේ අපනයනයෙන් 60% ක් ඒ රටවල් දෙකට තමයි සිදු කෙරුණේ. ඒවා ගලවාගෙන රටේ කීර්ති නාමයත් ආරක්ෂා කරගෙන, ජාත්‍යන්තර වශයෙන් හොඳ ප්රතිරූපයකුත් අපි නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලෝකයේ පවතින අර්බුද අද ලෝකයේ මූල්‍යමය වශයෙන් යම් කලබල කාරී තත්වයක් පැන නැගී තිබෙනවා. ඒවගේම තෙල් මිල නැවත ඉහළ යෑමේ ප්‍රවණතාවයක් නැවත ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපි අධික විදේශ ණය බරක නියැලිලා තිබෙනවා. ඒවා ඇත්තටම මේ ආණ්ඩුවේ ණය නෙමෙයි. මේ වසරේදී අපට ගෙවන්න තිබෙන ණය කොටස ඩොලර් මිලියන 4200 ක්. ඒකෙන් 11% යි 1947 ඉඳන් 2007 ට කලින් ගත්ත ණය තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම ඊට පස්සේ ගත්ත ණය. ඒ බරත් දරාගෙන තමයි අපට සංවර්ධනය කරන්න වෙලා තිබෙන්නේ. ඒ පැත්තෙන් අපි සාර්ථක වෙලා තිබෙනවා. අනෙක් පැතිවලින් අපේ අසාර්ථක තාවයන් තිබෙනවා. නමුත් ප්රජාතන්ත්රවාදී නිදහසයි, අතීතයට සාපේක්ෂව බැලූවහම රට අමාරුවේ දාල සංවර්ධනයක් කරලත් නැහැ. ඒ වගේම දුක් පීඩාවලට ලක් වූ ජනතාවට සෑම අතින්ම සහන විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙන බව පැවසීය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කර සිටියේ සහසක් තුරු වැඩසටහන යටතේ මිලියනයක් ශාක සිටුවීමේ රත්නපුර වැඩසටහනකට සහභාගී වෙමිනි.
0 comments :
Post a Comment