'තාක්‍ෂණ නගරයට බලහත්කාරයෙන් කිසිදු ඉඩමක් පවරා ගන්නේ නෑ' - ඇමති චම්පික.

තාක්‍ෂණ නගර සංවර්ධන කටයුතු පිළිබඳව හෝමාගම ප‍්‍රදේශය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මහානගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින මහානගර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 

තාක්‍ෂණ නගර ව්‍යාපෘතිය තුළින් ආර්ථිකයක් ගොඩනැගේනේ කෙසේද, නවොත්පාදන බිහිවන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව අමාත්‍ය චම්පික රණවක මැතිතුමා මෙහිදී පැහැදිලි කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

"රටක් උනහම රටකට අරමුණක් තිබිය යුතුයි. අපේ රටේ තවදුරටත් නිදහස් වෙළඳ කලාප ඇතිකරලා ඒ මගින් රටට දියුණුවක් ඇති කර ගන්න බැහැ. අපේ විශාල උගත් තරුණ පිරිසක් සිටිනවා. ඒ අය අලූත් රැකියා ක්‍ෂෙත‍්‍රවලට යොමුකළ යුතුයි. ඒකට නවෝත්පාදනය අවශ්‍යයි. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් අපි මෙහි ඇතිකරනවා.  කෞතුකාගාරයක්. සියළුම පාසල් දරුවන්ට ඇවිත් මේ නවීන විද්‍යාවේ අනාගත තොරතුරු එතන දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් මෙතන සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති කරනවා. මේ හැම තැනකම අපි පොදුවේ වැඩ කරගෙන යනකොට අපට තිබෙන ප‍්‍රශ්න, මාර්ගයක් හදන්න ගියහම වතුර නල අහුවෙනවා, විදුලි පද්ධතියට හානි වෙනවා. නමුත් අලූත් ජියෝ ඉන්ෆෝමේෂන් තාක්ෂණ ආයතනයෙන් අපට එවැනි අවස්ථා මග හැර ගන්න පුළුවන්. ගොවියන්ට, ඒ වගේම කාලගුණ විද්‍යාඥයින්ට, ඒ වගේම අනෙකුත් අයට තොරතුරු දෙන්න ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයට පුළුවන් වෙනවා. එය වැදගත් රාජ්‍ය ආයතනයක්  වෙනවා. ඒ වගේම මෙම ප‍්‍රදේශයේ, ජල පහසුකම්, විදුලි පහසුකම්, මාර්ග පහසුකම් මේ තුළින් දියුණු වෙනවා. ඒ නිසා මෙම ප‍්‍රදේශයට ඉදිරියට යන්න අරමුණක් ලැබෙනවා. 

එදා නොබැඳි සමුළුව අවස්ථාවේදී රත්මලානේ ගුවන් තොටුපල වැඩිදියුණු කරනවාට ප‍්‍රදේශයේ ජනතාව විරුද්ධ උනා.  ඒ අනුව සිරිමාවෝ මැතිණිය කැනඩාවේ ආධාර ඇතිව කටුනායක ගුවන්තොටුපල හැදුවා. එයින් කටුනායක දියුණු උනා.  කටුනායක ගුවන්තොටපල අසල උපාලි විජේවර්ධන මැතිතුමා නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කළා. එම ප‍්‍රදේශය දියුණු උනා. එදත් ගොඩක් අය එයට විරුද්ධ උනා. නමුත් එම ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. කටුනායක කියන ප‍්‍රදේශයට අරමුණක් ලැබුණා. එමගින් දසදහස් ගණන්  රැකියා අවස්ථා ආදායම් ඇතිවුණා. මොරටු විශ්ව විද්‍යාලය ඇති කරනවාට ප‍්‍රදේශවාසීන් විරුද්ධ උනා. නමුත් අද එම ප‍්‍රදේශයම දියුණු උනා. කටුබැද්දට අරමුණක් ලැබුණා. විජේරාම විශ්ව විද්‍යාලය පිහිටුවනවාට විරුද්ධ උනා. නමුත් පන්සල් භූමියේ විශ්ව විද්‍යාලය බණ්ඩාරනායක මහත්මයා ඇති කළා. අද විජේරාම කිව්වම 12000 ක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයක්. ඒ තුළින් එම මහරගම ප‍්‍රදේශයම වැඩිදියුණු වෙලා තිබෙනවා. මේ ප‍්‍රදේශයක් දියුණු කර ගන්න අරමුණක් අවශ්‍යයි. 

මෙම ප‍්‍රදේශයේ සහ මාලබේ ඇති කරන්න යන වැඩපිළිවෙලින් ප‍්‍රදේශයට පමණක් නෙමෙයි රටටම විශාල ආලෝකයක් ලැබෙනවා. එහි කොටස්කාරයෝ බවට ඔබත් පත් කරගන්න අපි කැමතියි. ඒනිසා මේ ඉඩම් කොරියාවට විකුණනවා, පිටරටවලට විකුණනවා කියලා පට්ටපල් බොරු පතුරුවනවා. ඇත්තටම කොරියානු රජයට අපි ස්තූතිවන්ත විය යුතුයි.  මොකද මේ සියළු සැලසුම් කටයුතු අපට නොමිලේ කරලා දුන්නේ ඒ රජයේ උදව්වෙන්. ඊළඟට මේ යටිතල පහසුකම් ආදිය නංවන්න අපේ ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබෙනවා, අපටත් වඩා දුප්පත් කමේ සිටි කොරියාව අද අපේ හැමෝම අතේ තිබෙන සැම්සුන් ෆොන් එක, එල්.ජී. රූපවාහනිය වගේම පාරේ යන්නේ හුන්ඩායි මෝටර් රථය, මුහුදේ යන්නේ හුන්ඩායි නැව් නිෂ්පාදනය කරනවා. නමුත් 1960 දී මේ රටේ පැල්පත්වාසීන්ට කිව්වේ කොරියාව කියලා. දැන් අපේ රටේ ළමයි පොරකනවා කොරියා යන්න, 50,000 ක් රැුකියාවල නියැලිලා ඉන්නවා. හි`ගන මට්ටමේ සිටි කොරියාව කොහොමද ආර්ථික බලයක් උනේ ඒ විද්‍යාව තාක්ෂණය ඉදිරියට ගෙනල්ලා. ඒ අයට කවුද උදව් කළේ. ඒ අයට උදව් කළේ ජර්මනිය. ජර්මනිය උදව් කරන වෙලාවෙත් මෙහේ ඉන්න කට්ටිය වගේ ජර්මනියට රට විකුණනවා කියපු අය එහෙත් හිටියා. අද ජර්මනියට ගියහම ජර්මන් තාක්ෂණයෙන් සීමන්ස් එකේ තාක්ෂණයෙන් තමයි සැම්සොන්්ග් එක හැදුනේ. බෙන්ස් තාක්ෂණයෙන් හුන්ඩායි එක හැදුණා. මේ අනුව ජර්මනියේ තාක්ෂණ උපකාරයෙන් කොරියාව බලවත් රටක් උනා. 

ඉතින් කොරියාව අපට උදව් කරන්නෙත්, අපට දැනුම් දී තිබෙනවා රස්සාවලට යන ළමයි නිකං මෙහේ ඇවිත් ගෙවල් හදලා වියදම් කරන්න එපා. ඒ අයට කර්මාන්ත හදන්න උදව් කරන්න, අපිත් කැමතියි ආසියානු රටක් හැටියට ඔබට අතදෙන්න කියලා. මෙතන මොකුත් කුමන්ත‍්‍රණයක් නැහැ. අපේ ළමයි එහේ තිස් හතලිස් දාහක් රැුකියාව කරනවා නම් එහින් අම්මලා තාත්තලා මෙහේ් ජීවත් වනවා නම් ඒ අය කැමතියි තවදුරටත් ඒ ළමයි සමග රටතුළ ව්‍යාපාර ඇති කරලා ඉදිරියට යන්න යැයි" අමාත්‍යවරයා පැවසීය. 

එමෙන්ම, මෙම ව්‍යාපෘතියට අත්පත් කරගන්නා ඉඩම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. තවදුරටත් පැහැදිලි කරමින් ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කළේ, දඹගොල්ලවත්ත, කාවුලූහේන, හොරගලවත්ත, තලගලවත්ත, දෙහිගහවත්ත යන ඉඩම් අත්පත් කර ගන්නා බවත්, මෙම ඉඩම්වල ප‍්‍රමාණය දළ වශයෙන් අක්කර 242ක් වන බවත්ය. මෙහිදී මාහේනවත්ත නව ප‍්‍රවේශ මාර්ගය ඇතුලූ තලගල-පිටිපන  මාර්ගය, දාම්පේ මාර්ගය, කහතුඩුව මාර්ගය සහ පිටිපන පන්සල හන්දිය, යන මාර්ග සංවර්ධනය පිළිබඳවද දීර්ඝ ලෙස මෙහිදී ව්‍යාපෘති නිළධාරීන් විසින් දැනුවත් කරන ලදී. මෙම ඉඩම්වලට අමතරව වෙනත් කිසිදු ඉඩමක් අත්පත් කර නොගන්නා බව ද, මෙහිදී අවධාරණය කෙරිණි. මෙහිදී, එම මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්න සඳහාද පිළිතුරු ලබාදීමක් ද සිදුවිය. 

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි, හෝමාගම ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් ජයසිංහ, උප සභාපති බන්දුල ඉලේපෙරුම මහතා ඇතුලූ හෝමාගම නියෝජනය කරන පළාත් සභා සහ සියලූම නාගරික මන්ත‍්‍රීවරුන් කොළඹ සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි පීඨාධිපතිවරුන්, එන්.එස්.බී.එම්. හරිත සරසවියේ නිලධාරීන්, ඉංජිනේරුවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුලූ පිරිසක් එක්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment