ආණ්ඩු මාරු කළේ : පෞද්ගලික සංස්කෘතික ප්‍රශ්නයකට - ජනාධිපති ප්‍රසිද්ධියේ පිළිගනී.

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමට මූලික වූයේ ජනාධිපති ඝාතන තැතක් නොවන බව කුමන්ත්‍රණ ආණ්ඩුවට පක්ෂව පාර්ලිමේන්තු වට රවුමේ ඊයේ (05) පැවති රැළියේදී අනාවරණය විය.

ඒ 2015 අගෝස්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා තමන්  සැළසුම් කර සිටියේ මීට මාස 8 කට පමණ පෙර බව ජනාධිපති සිරිසේන විසින්ම සඳහන් කල නිසාය. එනම් පසුගිය පළාත් පාලන මැතිවරණය  ආසන්නයේ සිට ජනාධිපතිවරයා මේ සූදානමේ පසුවූ බවය.

චින්තන වෙනසක් : සංස්කෘතික නොගැළපීමක් !

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධුරය වෙනස් කිරීමට තමන් තීරණය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චින්තනය තමන්ට නොගැලපෙන නිසා බවය. එසේම එහිදී පෙනී ගිය කරුණක් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චින්තනය රටට ද නොගැළපෙන බවට සිරිසේන ජනාධිපතිට සිතීම නිසා එසේ  කටයුතු කර ඇති බවය.

ජනාධිපතිවරයා මේ ගනු ලැබූ තීරණය  අත්තනෝමතිකද යන්න ජනාධිපතිවරයා සිය කතාව හරහා ජනතාව වෙත දන්වා සිටියේ ඇයිද යන්න පැහැදිළි නැත.

ඔබ එන්න භාරගන්න : මා කැමති නෑ ඔහුට - මාස අටක සිහිනය !

එසේම තමන් සමඟ සන්ධානගතව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂයේ  නියෝජ්‍ය නායකයාව කැඳවා එනම් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ට රහසේ කතාකර  " මට ඔබේ පක්ෂයේ නායකයා සමඟ වැඩ කරන්න බෑ. ඔහු අගමැති කමෙන් ඉවත් කර ඔබ අගමැති වෙන්න" යනුවෙන් පැවසීම කෙසේ යුක්ති යුක්ත කරන්නදැයි අපට පැහැදිළි නැත. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අගමැතිකම ගන්නා ලෙස යෝජනා කිරීම කියන්නේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද වෙනස් කිරීමය. 

ඒ කියන්නේ පළමුව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව දරා ගන්නට ජනාධිපතිවරයාට නොහැකිව ඇති අතර එය බරපතල සංස්කෘතික නොගැලපීමක් මත සිදුව ඇත. එම සංස්කෘතික වෙනස ජනාධිපතිවරයා කළමනාකරණය කරන්නට කටයුතු කර ඇත්තේ පළමුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර, එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ව අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්කර ගැනීමය.

රනිල් එක්ක තරහට : මහින්දව බලයට ගෙනාවා වාගේ !

එය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ තමන් පරාජය කළ රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒමට කටයුතු කිරීමය. පසුගිය මාස දෙකක පමණ කාලය ගෙවීගොස් ඇත්තේද ඒ වෙනුවෙන් බව දැන් පෙනෙන්නට ඇත.

දැන් ගැටළුව ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සාධාරණීකරණය කරන්නට තරම් පැහැදිළි හේතුවක් ජනාධිපතිවරයට නොමැති වීමය. සංස්කෘතික නොගැළපීමක් තිබෙනවා කියූ පමණින් එය ජනතාවගේ ජන්ද අයිතිය, විශේෂයෙන් බහුතර ජන්දයෙන් 2015 අගෝස්තු මහ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කිරීම අත්තනෝමතික මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. එහි ඇත්තේ ෆැසිස්ට් ආඥාදායක ලක්ෂණ මිස යහපාලන ලක්ෂණ නොවේය. 

අනෙක් අතට ජනතාව මැතිවරණයකින් පත්කරගත් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තිය අහිතකර නම් ඒ ගැන තීන්දුව ගත යුත්තේ ජනතාව මිස ජනතාව පරාජයට පත්කළ පරාජිතයාව කුස්සියේ දොරෙන් ඇඳට අරගෙන නොවේය.

දැන් ජනාධිපති සිරිසේන කියන්නේ තමන් ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා බවත් එනිසා 2015 ජනතා ජනවරම (අගෝස්තු) ආපස්සට ගන්නා ලෙසය. ආඥාදායක ෆැසිස්ට් හඬ අද එසේ ඇසුණේ මහින්ද අගමැති ලෙස වේදිකාවේ සිටි නිසාද නැතිනම් මහින්ද ගිය පාරේ ඉදිරියට යන්න ජනාධිපති සිරිසේන තීරණය කර ඇති නිසාදැයි අප දන්නේ නැත.

දැනටමත් 113 සම්පූර්ණ නම් !

කෙසේ වුවත් තවත් එක් වැදගත් කතාවක් සිරිසේන ජනාධිපති පැවසීය. ඒ තමන්ට 113 ක පාර්ලිමේන්තු බහුතරය දැනටමත් ඇති බවය. 

සිරිසේන ජනාධිපතිගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට 113 ක පාර්ලිමේන්තු බහුතරය ඇත්නම්  පාර්ලිමේන්තුවේ වාර අවසන් කර නොවැම්බර් 14 දක්වා එය කල්තබා ඇත්තේ අහවල් දෙයකට දැයි අප දන්නේ නැත. එසේනම් දැන් සිරිසේන ජනාධිපති කළ යුතුව ඇත්තේ අවම වශයෙන් එළබෙන 07 වනදා හෝ පාර්ලිමේන්තුව කැඳවා ඔය තියනවා කියූ බලය පෙන්වීමය. 

බොරුවකට පවා අපමණ අගයක් ලැබෙන්නේ එය සත්‍යට සමීපවූ තරමටය.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment