බුදුදහමට ප්‍රමුඛ ස්ථානය : ව්‍යවස්ථාවේ 9 වගන්තියේ අකුරක්වත් වෙනස් කරන්නේ නෑ - අගමැති.

කුමන තත්ත්වයක් යටතේවත් පවතින ව්‍යවස්ථාවේ බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛ ස්ථානය වෙනස් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් පවතින 9 වෙන වගන්තියේ එක අකුරක්වත් වෙනස් නොකරන්නට එක්සත් ජාතික පක්ෂය පොරොන්දුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (28) මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසු අතර එහිදී සිදුකල සම්පුර්ණ කතාව පහත දැක්වේ.

අද දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසුණා. මේ රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කිරීමට ගත් පියවර පිළිබඳව එහිදී මම එම නායක ස්වාමීන් වහන්සේලා සියළුම දෙනාටම ස්තුති කළා. අපි ස්ථාවර ආණ්ඩුවක් බිහිකර එහි ස්ථාවරභාවය ආරක්ෂා කර ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව ගත් පියවර අපි අගය කරනවා. අපේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අද දින අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කළා.

ගම් මට්ටමින් සහන ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේදී දැනට තිබෙන ව්‍යවස්ථාවේ  බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙන් පවතින 9 වෙන වගන්තියේ එක අකුරක්වත් වෙනස් නොකරන්නට එක්සත් ජාතික පක්ෂය එකඟ වෙලා තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව විපක්ෂයේ සමහර පක්ෂ සමඟත් මම සාකච්ඡා කරලා තියෙනවා.

ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීමටත්, ඒකීය රාජ්‍ය ඉදිරියට ගෙන යාමටත් කටයුතු කරන බව මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට දැනුම් දුන්නා. මෑතකදී අන්තවාදීන් පිරිසක් විසින් බුදුපිළිම කිහිපයකට හානි සිදු කර තිබෙනවා. ඒ සිදුවීම සම්බන්ධයෙන් තදීන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් මම උපදෙස් ලබාදුන්නා. මේ වන විට එම සිදුවීමට සම්බන්ධ අන්තවාදීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව හින්දු දේවස්ථානයකට හානි සිදුකිරීමක් පිළිබදව ද, අපට දැනගැනීමට ලැබුණා. මීට සම්බන්ධ පුද්ගලයන්ට කිසිදු සහනයක් ලබා නොදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මම අදාල අංශවලට උපදෙස් ලබාදුන්නා. විශේෂයෙන්ම හානියට පත්වූ බුදුපිළිම සහ දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ද රජයක් ලෙස අපි කටයුතු කරනවා.  




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment