ප්‍රේම සම්බන්ධයට ගෙදර අය එරෙහි වුනැයි කුලියාපිටිය පාසල් සිසුවිය ළිඳට පැනලා


ප්‍රේම සම්බන්ධයට පවුලේ සහෝදරයන්ගෙන් හා පියාගෙන් එල්ලවූ බාධා ඉවසා දරා ගැනීමට නොහැකිව නිවස පිටුපස ළිඳට පැන සියදිවි නසා ගත් පාසල් සිසුවියක්‌ පිළිබඳ පුවතක්‌ පසුගියදා  කුලියාපිටිය හල්මිල්ලවැව ගනේගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

 මෙලෙස සියදිවි හානි කර ගෙන ඇත්තේ හල්මිල්ලවැව ගනේගොඩ පදිංචිව සිටි බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ සිසුවියකි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්විණි. කිණිගම කෝරළයේ උතුර හදිසි මරණ පරීක්‍ෂක එස්‌. ඡේ. එම්. රූපසිංහ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ පියා වන බාලසූරිය මුදියන්සේලාගේ ආරියතිලක බාලසූරිය (59) නමැති අය මෙසේ කීවේය.

 ''මීට මාස 4 කට කලින් දවසක අපේ නිවසට රාත්‍රි 7.00 ට
විතර තරුණයෙක්‌ ආවා. මම ඔහුගෙන් ප්‍රශ්න කළා. එවිට ඔහු මගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක්‌ තිබෙන බව කීවා. එවිට පුතාල දෙන්න හා අහල පහල අය එකතුවෙලා ඒ තරුණයාට පහර දිලා පොලිසියට බාර දුන්නා. ඉකුත් 17 වෙනි දින හැන්දැවේ දුවගේ කාමරයේ තිබිලා අපේ සම්පත් පුතාට ෆෝන් එකක්‌ හමුවුණා. ඒ වෙලාවේ දුව බිංගිරිය පංති ගිහින් සිටියේ. පසුව දුව ගෙදර පැමිණි පසුව මේ ගැන ඇගෙන් ඇසුවා. එය ඇහින්ද එකක්‌ කියලා කීවා.

මෙවැනි දේවල් මින් පසුව කරන්න එපා කියලා අපි දුවට අවවාද කළා. එදින රාත්‍රි 9.00 ට පමණ දුව බත් කාලා නින්දට ගියා. පාන්දර 4.00 ට විතර මම නැගිටල බැලුවා. එවිට දුව කාමරයේ නිදාගෙන සිටියා. නැවත මම පාන්දර 6.00 ට විතර නැගිටල බලනවිට දුව කාමරයේ හිටියේ නැහැ. අපි දුව හැම තැනම සෙව්වා. ඒත් හමුවුණේ නැහැ. මම හල්මිල්ලවැව හංදියටත් ගිහින් බැලුවා. දුවගේ සෙරෙප්පු දෙකයි ටෝච් එකයි පසුව ළිඳ ළඟ තිබී හමු වුණා.

පුතාල අහල පහල උදවියත් එකතු කර ගෙන ළිඳට ලීයක්‌ දාලා දුව ඉන්නවාද කියලා බලනකොට ඇගේ මෘතශරීරය හමුවුණා. මේ අතර ගෙදර සාලයේ ටීපෝ එක උඩ තිබිලා දුව විසින් ලියන ලද ලිපියක්‌ද හමුවුණා. එහි සියදිවි නසාගන්නා බවට සඳහන් කොට තිබුණා. මේ අනුව දුව ළිඳට පනින්න ඇති කියලා අපි විශ්වාස කරනවා.

සොහොයුරා වන බාලසූරිය මුදියන්සේලාගේ සමීර බුද්ධික බාලසූරිය (30) යන අයද මෙහිදී සාක්‍ෂි දුන්නේය.

 කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව අනුවත් ඉදිරිපත්වූ සාක්‍ෂි අනුවත් මෙය දියේ ගිලීම හේතුවෙන් ස්‌වසන පද්ධතියට හානි සිදුවී අක්‍රිය වීමෙන් සිදුවූ හදිසි මරණයක්‌ බවට හදිසි මරණ පරීක්‍ෂක එස්‌. ඡේ. එම්. රූපසිංහ මහතා තීන්දු කළේය. මෙම සිසුවියගේ අවසන් කටයුතු ඉකුත් 21 වෙනි දින සිදු කෙරුණි.

- සෝමවීර ගම්ලත්-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment