දියණියට පහර දුන්නේ යැයි ගුරුවරියක් පාසල් සිසුවකුට අමානුෂිකව පහර දීලා

සිය දියණියට අතින් පහර දුන්නේ යැයි කියන සිදුවීමක් මුල්කර ගනිමින් බාල වයස්කාර පාසල් සිසුවකුට අමානුෂික අන්දමින් කෝටුවකින් පහරදුන් හිදෝගම නෙළුබෑව ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ හිදෝගම පොලිස් වසමේ හතරේ ඇළ නෙළුබෑව
ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික ගුරුවරියකි. පහර කෑමට ලක්වූ බව කියන දස හැවිරිදි පාසල් සිසුවාගේ මවුපියන් විසින් හිදෝගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ හිදෝගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ පහරකෑමට ලක්වූ කුඩා සිසුවා විද්‍යාලයේ සෙල්ලම් කරමින් සිටියදී ගුරුවරියගේ දියණිය පැමිණ අසල වූ පස් ගොඩකට ඔහු තල්ලුකර දමා ඇති බවයි.

සිසුවිය ඔහු තල්ලුකර දිවයද්දී සිසුවා නැඟිට ඇගේ උදරයේ වදින ලෙස අත දික්කර ඇති බවත් උදරයේ අත වැදීම නිසා වේදනාවට පත්වූ ඇය ඒ පිළිබදව විද්‍යාලයේම සේවය කරන මවට පවසා ඇති බවත් පොලිසිය අධිකරණයට කීවේය. ගුරුවරුන්ගේ රැස්වීමකට සහභාගි වී සිටි ගුරුවරිය අසලට ගිය දියණිය සිසුවා පහරදුන් බව පවසනවාත් සමඟම ඇය වෙනත් සිසුවකු අත වූ කෝටුවක් උදුරාගෙන වින්දිත සිසුවාගේ අතට හා පාදයේ දණහිසකට පහරදී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.

පහරකෑමට ලක්වූ සිසුවා නෙළුබෑව රජයේ රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවේය.පහරකෑමට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් මේ මස 28දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළ අතර එදිනට සැකකාර ගුරුවරියටත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

හිදෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.පී.ටී. කොස්තා මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් එදිරිසිංහ මහතා (7958) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

-අනුරාධපුර  මහේෂ් විජේසූරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment