දළදා මාළිගාවේ පත්තිරිප්පුවට රිදී ද්වාරයක් නිමවා පූජා කළ දානපති යුවළ

ශ‍්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ ප‍්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාළිගාවට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 22දා සිදුකෙරුණි.

ශ‍්‍රී දළදා මාළිගාවේ හිටපු දියවඩන නිළමේවරයකු වන හීන්බණ්ඩා උඩුරාවණ නිළමේ තුමන්ගේ දියණිය වන නෙළුම් දේවී උඩුරාවණ බස්නායක මහත්මිය හා ඇගේ සැමියා වන අධිනීතීඥ සේනරත් බස්නායක මහතා විසින් රුපියල් ලක්ෂ විසිදෙකක මුදලක් වැයකර මෙම දොර නිර්මාණය කර තිබේ.

වැඩ සිටින මාලයේ හා පහළ මාලයේ පිවිසුම් දොරටු රිදී වැඩ යොදා ප‍්‍රතිසංස්කරණය කර තිබෙන බවත් පත්තිරිප්පුවේ ප‍්‍රධාන පිවිසුම් ද්වාරය හිටපු දියවඩන නිළමේවරයෙකු වන උඩුරාවණ මහතාගේ දියණියක වන නෙළුම් දේවී උඩුරාවණ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පවුලේ වියදමින් ප‍්‍රතිසංස්කරණය කර දළදා මැඳුරට පූජා කළ බවත් ප‍්‍රදීප් නිලංග දෑල මහතා කීය.


ශ‍්‍රී දළදා මාළිගාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී වසර 21 ක් ගත වන අවස්ථාවේ තම දෙමව්පියන් සිහිකර මෙම උතුම් පුණ්‍යකර්මය සිදුකිරීමට ලැබීම භාග්‍යයක් බව නෙළුම් දේවී උඩුරාවණ මහත්මිය කීවාය.

-සමන්තී වීරසේකර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment