ජෙට් එයාර්වේස් මගීන්ට යළි මුදල් ගෙවන්න තීරණයක්.


අද වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා, සියලු ගුවන්ගමන් වාර අවලංගු කර තිබෙන ජෙට් එයාර්වේස් ගුවන් සේවය පිළිබඳ බොහෝ ගුවන් මගීන්ගේ අවධානය යොමුව තිබේ. මේ හේතුවෙන් වඩාත් බරපතල අසීරුතාවයකට පත් වී ඇත්තේ ඉදිරි ගුවන් ගමන් සඳහා ජෙට් එයාර්වේස් ගුවන් සේවයෙන් ප්‍රවේශපත් වෙන් කර ඇති ගුවන් මගීන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මෙරට සංචාරක නියෝජිතායතනයක නිලධාරියෙකු කියා සිටියේ, ඉදිරි දින සඳහා ජෙට් එයාර්වේස් හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ඇති සියලූම මගීන්ට, අදාළ ගාස්තු නැවත ගෙවීමට (Refund) ඔවුන් කටයුතු කරනු ලබයි. ගුවන්ගමන් අවලංගු කිරීම හා මුදල් ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ සටහනක් ජෙට් එයාර්වේස් නිල වෙබ් අඩවියේ ද සඳහන් කර ඇත.

ජෙට් එයාර්වේස් ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1.2 ක දැවැන්ත ණය බරකින් පෙළෙන අතර සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වූ තවත් ඩොලර් මිලියන 217 ක ණය මුදලක් ලබා දීමට, ණයකරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම අර්බුදය හට ගෙන ඇත.

පවතින තත්ත්වය තුළ ගුවන් නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම මෙන්ම ගුවන් යානා සඳහා ඉන්ධන වෙනුවෙන් ගෙවීම් පියවීමට ද සමාගම අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් පසුගිය අප්‍රේල් 11 වන දින සිට සියලූම ගුවන්වාර අවලංගු කිරීමට ජෙට් එයාර්වේස් ගුවන්සේවයට සිදුවිය. එහිදී ඔවුන් පැවසුවේ අප්‍රේල් 15 දින, සමාගම වෙත අරමුදල් ලබා දීමට සූදානම් පාර්ශව සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එයින් පසු ඉදිරි තීරණ ගන්නා බවත්ය. කෙසේ වෙතත් ජෙට් එයාර්වේස් ගුවන්සේවය අද (16) පවසන්නේ පෙර කී ගුවන්ගමන් වාර අත්හිටුවීම අප්‍රේල් 19 වැනි දින දක්වා දීර්ඝ කරනු ලැබූ බවයි.

වැටුප් නොගෙවීම හේතුවෙන් 1,100 කට අධික ජෙට් එයාර්වේස් ගුවන් නියමුවන් මේ වන විට වැටුප් ගෙවනතුරු සේවයෙන් ඉවත් වී සිටී. ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ පසුගිය මාස 03 ක පමණ සිට ඔවුන්ට වැටුප් ගෙවා නොමැති බවයි. එපමණක්ද නොව ගුවන්සේවයේ ඉංජිනේරුවන්. ඉහළ කළමනාකාරීත්වය ඇතුළු 20,000 ක් පමණ වන කාර්ය මණ්ඩලයට පසුගිය ජනවාරි මාසයේ පටන් වැටුප් ගෙවීමක් සිදුව නොමැති බවට එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment