පිපිරවීම්වලට සම්බන්ධ අපරාධකරුවන් හඳුනගෙන?
අද දින ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් එක්තරා සංවිධානයක් වගකිව යුතු යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇතත් ඒ පිළිබඳව සියලූ තොරතුරු පොලිසියෙන් විභාග කොට, අනතුරුව දැනුම් දෙන බව අගමැතිවරයා පැවසිය.
එම බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා අද (21) දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේය.
ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල කුමන්ත්‍රණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.
''ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි.
එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.
විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා.
නීතිය ආරක්ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්ෂක ලේකම් වෙතත්, ත්රීවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා.
මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.
දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි.
ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්ෂා කරමු.''
"අපරාධකරුවන් හඳුනගෙන තිබෙන්නේ" - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මේ අතර "අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව" ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.
"මේ අන්තවාදී කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීම සඳහා හෝ පසුගිය දින කිහිපය තුළ ඔවුන් කළ දෑ කිරීමට අප කිසිඳු ලෙසකින් හෝ ඉඩ තබන්නේ නැහැ."
"අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන ආගමික අන්තවාදයක් අනුගමනය කළත් අප ඔවුන් ලුහුබඳිනවා"
"අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වගේම මේ රටේ ඔවුන් ක්‍රියාත්මක වීම නවතා දමනවා"
"මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ආරක්ෂක හමුදා විමර්ශන සිදු කරමින් සිටිනවා"
"මේ අවාසනාවන්ත ත්‍රස්තවාදී සිදුවීමට සම්බන්ධ සියලුම අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් කවුරුන්දැයි හඳුනා ගෙන තිබෙනවා" යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
අද දිනයේ පිපිරීම් පිළිබඳ සංෂිප්තය:
* දෙමටගොඩ ප්‍රදේශයේ ද පිපිරීමක් සිදු වූ බව පොලිසිය පවසයි. එය ඉරිදා සිදුවූ අටවැනි පිපිරීමයි.
* දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි ලැගුම්හලක තවත් පිපිරීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
* ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක දේවස්ථාන සහ සංචාරක හෝටල් අටකටවත් ප්‍රහාර එල්ල වී ඇති අතර අවම වශයෙන් 194 දෙනෙකුවත් මරණයට පත්ව ඇත.
* කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි තරු පහේ හෝටල් ඒ අතර වේ.
* සිදු වී ඇත්තේ දේවස්ථාන තුළ පාස්කු දේව මෙහෙයන් සිදු වෙමින් පවතින අවස්ථාවේදීය.
* මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
0 comments :
Post a Comment