මට ඕනෑ දක්ෂ නිළියක් වෙන්න



විහඟ ගීතයෙහි - යශෝධරා.

මෝසම් සුළඟ හි - නෙළුම්.

එකිනෙකට වෙනස් වූ ඒ චරිත හරහා ඔබට සමීප වන ඇය රුවී හේරත්.

මේ ටෙලි නාට්‍ය දෙකම මේ දිනවල විකාශය වෙනවා. කොයි චරිතයට ද වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ?

ම්ම්ම්... ඒක මට හරියටම කියන්න බැහැ. මේ චරිත යුගල එකිනෙකට වෙනස්. ඒ හින්දා දෙකටම විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. යශෝධරා කියන්නේ අහිංසක කීකරු ළමයෙක්. නෙළුම් උත්සාහවන්තියක්. මේ චරිත දෙකෙහිම සමාන ගති ගුණයක් තියෙනවා. ඒ නපුරු නැතිකම. අන්න ඒ ගතිගුණය නිසා යශෝධරා සහ නෙළුම් මගේ ජීවිතයට සමීපයි.

රුවී රඟපාන්නට ඇවිත් කොපමණ කාලයක් ගතවනවාද?

අවුරුදු හතක් විතර.

නමුත් ඊයේ පෙරේදා ආව නිළියන්ට වඩා ඔබේ ජනප්‍රියත්වය අඩුයි නේද?

ඔව්. ඒකත් හරි. මං කවදාවත් ජනප්‍රියත්වය පස්සේ එලෙව්වේ නැහැ. ඒකයි අනෙක් අය තරම් මං ජනප්‍රිය නැත්තේ.

ඔබේ කතාවෙන් පේනවා ඔබ තෝරා බේරාගෙන රඟපාන නිළියක් කියලා.

හරි. මට ලැබෙන හැම චරිතයක්ම මං බාර ගන්නේ නැහැ.

මා දන්නා පරිදි ඔබ වෘත්තීමය නිළියක්. එහෙව් තත්ත්වයක් මත ඔබට පුළුවන් ද තෝරා බේරාගෙන රංගන කටයුතුවල නියැළෙන්න?

මෙහෙමයි, මේ වන විට මං මගේ වටිනාකම හදාගෙන තියෙන්නේ. චරිතයකට සාධාරණ මුදලක් මං ඉල්ලනවා. ඒක මට ලැබෙනවා. ඉතින් චරිත දහයක් කරනවාට වඩා මට ඒ විදිහ අගෙයි.

ඔබට ජනප්‍රිය නිළියක් වන්නට අවශ්‍ය නැතිද?

නැහැ. මට ඕනෑ දක්ෂ නිළියක් වෙන්න.

ඔබ දක්ෂයි කියලා තවම ඔබට ඔප්පු කරන්න බැරි වුණා නේද? මං කිව්වේ තම ඔබට සම්මානයක්වත් ගන්න නොහැකි වීම ගැන?

මට ලැබෙන හොඳම සම්මානය තමයි ජනතා සම්මානය. මගේ නාට්‍ය නරඹන අය ලබාදෙන ඇගැයීම ඔක්කොටම වඩා වටිනවා. මං හිතනවා තව කාලයක් ගතවෙද්දී මටත් සම්මානයක් ලැබේවි කියලා.

රුවී රංගනය හදාරලා තියෙනවාද?

නැහැ.

රංගනය ඉගෙන ගත්තොත් හොඳයි කියලා හිතිලා නැතිද?

රංගනය හදාරනවා ලොකේෂන්වලදී. ඒ කිව්වේ අධ්‍යක්ෂවරුන්ගෙන්. ඒක තමයි දැනට තියෙන හොඳම මඟ.

රුවී වඩාත් කැමැති මෙගා නාට්‍යවලටද මෙගා නොවන ඒවටද?

මෙගා නොවන නාට්‍යවලට තමයි මං ගොඩක් කැමැති.

ඇයි ඒ, තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන නිසාද?

නැහැ. මෙගා නාට්‍යවල වුණත් හොඳ චරිත තියෙනවානේ.

එහෙනම්?

මං ගොඩක් ඉඩ වෙන් කරන්නේ මගේ පෞද්ගලික ජීවිතයට. මගේ මහත්තයා ගෙදර ඉන්නවා හරි අඩුයි. ඉතින් ඔහු නිවසේ රැඳී සිටින දවස්වල මමත් ගෙදර ඉන්නවාමයි. මෙගා නාට්‍යයක් බාර ගන්න කොට මං දෙවතාවක් හිතන්නේ ඔන්න ඔය කාරණය නිසයි.

ඔබේ සැමියා ගැන විස්තර පවසන්න. ඔහුත් කලා ලොවෙහි කෙනෙක්ද?

ඔව්. ඔහුගේ නම ප්‍රසාද් නාකුළුගම සහාය අධ්‍යක්ෂවරයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. ප්‍රසාද් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉන්නේ.

ඔහු ඒ ක්ෂේත්‍රයේ ඉන්න නිසා ද ඔබව නිතර දෙවේලේ අපට වෙළඳ දැන්වීම් හරහා දැක බලාගන්න ලැබෙන්නේ?

ඔහුත් මට වෙළෙඳ දැන්වීම්වලට කතා කරනවා. නමුත් මාව ගන්නේ ඊට ගැළපෙනවා නම් පමණයි. මං ඉන්න වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම විකාශය වෙනවා. ඒ ප්‍රසාද් කරපුවා නෙවෙයි.

රුවී පෙර රඟපෑ නිර්මාණ මතක් කළොත්?

මුතු පලස, තරුමලී, සිටුමැදුර, හිරු තනි වෙලා. ඊට අමතරව ගොඩක් නාට්‍ය තියෙනවා. ඔය නාට්‍යවල තමයි මං කැපී පෙනෙන චරිත රඟපෑවේ.

රුවීගේ ගෙවල් කොහෙද?

බණ්ඩාරවෙල.

ඉගෙන ගත්ත පාසල මතක් කළොත්?

විශාකා බාලිකා මධ්‍ය මහා විදුහල බණ්ඩාරවෙල.

උපන් දිනයත් කියමු?

අපේ‍්‍රල් 11.

පවුලේ විස්තර කිව්වොත්?

අම්මයි තාත්තයි අයියලා දෙන්නයි.

රුවී තමයි පවුලේ එකම ගැහැනු ළමයා. එහෙව් තත්ත්වයක් මත ඔබට රඟපාන්න යන්න දුන්නද?

මගේ ගෙදර අය තමයි එදා ඉඳලාම මට ශක්තියක් වුණේ. ඔබ කිව්වා වගේ පවුලේ එකම ගැහැනු ළමයා වෙච්ච මට කිසිම තහනමක් තිබුණේ නැහැ මගේ හීනයට යන්න. අම්මා, තාත්තා, අයියලා දෙන්නා බෙහෙවින් උදවු කළා මට රංගනයෙන් ඉදිරියට යන්න. ඔවුන් එදා මට එරෙහි වුණා නම් අද මම මෙතැන නැහැ.

කොහොමද ඔබේ රංගන කටයුතුවලට ගෙදරින් ලැබෙන ප්‍රතිචාර?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. ඔවුන් මට කතා කරන හැම වෙලාවකම මගේ හොඳ වගේම අඩුපාඩුත් කියනවා. මමත් කැමැතියි එහෙම කියනවට. මොකද පවුලේ අය තමයි අවංකවම ප්‍රතිචාර දක්වන්නේ.

විහඟ ගීතයහි රඟපාද්දි ඔබ ඇතුළු නළු නිළියන්ට අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පුගේ කන දිහා බලාගෙන ඉන්න වුණාලු නේද? ඒ රසබර කතාව කියමින් මේ කතාවට විරාමයක් තබමු?

රොෂාන් අයියා අපේ රංගනයෙන් සෑහීමකට පත් නොවූ අවස්ථාවලදී කෙළින්ම කියනවා ආයෙත් සීන් එක ගමු කියලා. ඒ වගේම සීන් එක හොඳට ආවා නම් ඔහු කරන්නේ මොනිටරය දිහා බලාගෙන කන කසන එක. අන්න ඒ වෙලාවට අපි දන්නවා සීන් එක ඕකේ කියලා.

(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment