ලෝචනා
ඇය හැම විටම විනෝදෙන් ඉන්න බිරියක්
ලසන්ත
මේ දඟකාර රුවැත්තිය වේදිකාව,පුංචිතිරය, සිනමාව, යන ත්‍රිවිධ මාධ්‍යයම ජයගත් දක්ෂතාවයෙන් හෙබි චරිතාංග නිළියකි. ලෝචනා ඉමාෂි ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක් වූයේ නිවේදිකාවක හා ටෙලි නාට්‍ය නිළියක ලෙසය. එහෙත් ඇය වේදිකාව හා සිනමාවේ ද කතාබහට ලක් වු චරිත නිරූපණය කළාය. මෙවර කැදැල්ල විශේෂාංගය වෙනුවෙන් අපි කිරුළපන නිස්කලංක පරිසරයක පිහිටි මේ රුවැති රංගන ශිල්පිනියගේ සොඳුරු නිවහනට ගොඩවැදුණෙමු.
ලෝචනා විදෙස්ගතව සිට පැමිණ සුපුරුදු විදිහට නැවතත් කලා කටයුතු පටන් අරගෙන ද? ඇය දුටු විගස මා ඇසූ පළමු ප්‍රශ්නය එයයි.
පසුගිය කාලයේ හිටියේ විදෙස්ගත වෙලයි. දැන් දිගටම ලංකාවේ තමයි ඉන්නේ. ලසන්තත් ලංකාවට ඇවිත් ඉන්නේ. එනිසා දැන්නම් ආයෙත් කලා වැඩ කටයුතුවලට යන්න කාලය තිබෙන නිසා කලා කටයුතු නැවතත් සුපුරුදු පරිදි කෙරීගෙන යනවා.
ලසන්ත-ලෝචනා ඔබ දෙදෙනා මුණ ගැසුණේ කොහොමද? මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අප අසල සිටි ලසන්තයි.
"මම ලසන්ත නවරත්න. අපි විවාහවෙලා දැන් වසරකට කිට්ටුයි. මට ලෝචනාව මුණ ගැහෙන්නේ. කලා ක්ෂේත්‍රයේ සිටින ලෝචනාගේ සහෝදර රංගන ශිල්පිනියක් නිසයි. ඇය සේමිණී ඉද්දමල්ගොඩ. සේමිණියි එයාගෙ දියණියයි නෙදර්ලන්තයට ආවා. සේමිණී රඟපාපු '28 ශ්‍රී' චිත්‍රපටය එහි පවත්වන 'රොටඩ්‍රෑම්'චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කර තිබුණා. ඇය ආවේ එයට සහභාගි වෙන්නයි. ඒ වෙලාවේ සේමිණීව හඳුනා ගන්න ලැබුණා. මේ විදිහට සේමිණිගේ ෆැමිලි එකත් එක්ක ගොඩ නැඟුණු මිතුදම නිසා ඔවුන් මහනුවර පැවැත් වූ උත්සවයකට මටත් සහභාගි වෙන්න ආරාධනා ලැබුණා. එතැනදී මට සේමිණී ලෝචනාව හඳුන්වා දුන්නා. පස්සේ අපි අතරේ මිතුදමක් ඇති වුණා. එය ආදරයකට හැරිලා අපි විවාහ වුණා.
ලසන්ත හදිස්සියේම ලංකාවට ආවේ ඇයි?
හදිස්සියේම නම් නෙමෙයි. පොඩි නිවාඩුවකට තමයි ආවේ. වෙනද නම් ලංකාවට ඇවිත් දවස් දහයක් වගේ කාලයක් තමයි උපරිම ලංකාවේ ඉන්නේ. ඒත් මෙදා වැකේෂන් එක ටිකක් දිගයි.
ඔබ නෙදර්ලන්තයේ රැකියාව කරන්නේ?
ඔව්. මම එහි තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙක් ලෙසයි වැඩ කරන්නේ. ඊට අමතරව මම එහි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ඒ රටේ වගේම ලංකාවෙත් කලාවට මම නිෂ්පාදකවරයෙක් ලෙස දායකත්වය ලබා දී තිබෙනවා. එරට විවිධ වාර්තා වැඩසටහන්,කෙටි චිත්‍රපට,නිර්මාණය කිරීම මම සිදු කරනවා. ලංකාවේ තිරගත වූ 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය නිෂ්පාදනයට මම දායක වුණා.
විවේකයක් ලැබුණම මොකද කරන්නේ?
ලංකාවෙදි නම් ආ විගස කරන්නේ සොඳුරු ස්ථාන සොයාගෙන යන එකයි. මම කැමැති ස්වභාවික වනාන්තරවල ඇවිදින්න යන්නයි. මම හරිම ආසයි වනජීවී ජායාරූපකරණයට. ලෝචනා නම් ගොඩක් ආස බීච් එකේ ඇවිදින්න යන්නයි. නෙදර්ලන්තයේ ඉද්දී අපි දෙන්නා කාර් එකේ ප්‍රංශයට යනවා. එහෙ ලස්සන ලොකේෂන්වලට යනවා. මට මතකයි අපි කෝච්චියේ බෙල්ජියම් ගියා. ඉතාලියේ එට්නා කඳුශිඛරයේ අපි හරිම ලස්සන ෆොටෝ ෂුට් එකක් කළා. ඒවා අපේ ජීවිතයේ සොඳුරු සිහිවටන. ලසන්ත පවසන්නේ සතුටිනි.
ලසන්ත කන්න කැමැති කෑම මේ දවස්වල ලෝචනා අතින්ම හදල දෙනව ඇති?
ලසන්ත හරි ආසයි මම හදන බුරියානි එකට. මටත් වඩා රසට කෑම වර්ග ලසන්තට හදන්න පුළුවන්. නෙදර්ලන්තයට මම ගිහාම මාව සර්ප්‍රයිස් කරන්න ලසන්ත විවිධ කෑම වර්ග හදනවා. එයාට ඉන්නෙ ගොඩක්ම ෆොරින් යාළුවෝ. ඒ අයට ලසන්ත මිරිස් කවන්නේ කෙහොමද දන්නවාද? එයාලට කොත්තු හදල දීල තමයි. ඒ අයත් සැරයි කිය කිය කනවා.
ලෝචනාගේ ගතිගුණ ඔබ දකින්නේ කොහොමද?
ඇය මම සෙවූ හැම ගුණාංගයකින්ම යුතු යි. හරිම නිහතමානියි. මට පාළුවක් නම් දැනෙන්න දෙන්නෙම නැහැ. හැම තිස්සෙම මං ළඟට ඇවිත් මොනවා හරි කියමින් තමයි ඉන්නේ. හරි විවෘතයි. හැම විටම විනෝදෙන් ඉන්න බිරියක් ඇය.
ලෝචනාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද? මම ඒ පැනය නැඟුවේ ලෝචනා දෙස බලමිනි.
ඉතා හොඳ සහයක් මට දෙනවා. මගේ ප්‍රධාන විවේචකයා වන්නේ ඔහු. මම රඟපාන දෙයක වුණත් අඳින පළඳින ඇඳුමක් වුණත් මට ගැළපෙනව ද කියන එක එයා නිරන්තරයෙන් විවේචනය කරනවා. මම ඒකට කැමැතියි.
මේ ගැන ලසන්තත් කතා කළා. දැන්නම් ලෝචනා රඟපාන චරිත මම තෝරාදීමක් කරනවා.ඇයට එන හැම වැඩක්ම ඇය දැන් භාර ගන්නේ නැහැ.
දුරු රටක ජීවත් වුණත් ලංකාවේ හැම දෙයක් ගැනම ඔබ විමසිලිමත් වගේ?
ඔව්. මම ලංකාවේ හැම තොරතුරක්ම නිතරම කියවනවා. ඔන් ලයින් කියවනවා.
ලෝචනා නිළියක ලෙසද නිවේදිකාවක ලෙසද ඔබ දකින්න කැමැති ?
ඇත්තටම ලෝචනා මේ ක්ෂේත්‍ර දෙකේදිම දක්ෂයි. ඒ දෙකම ඇයට ඉතා හොඳින් කරන්න පුළුවන්.
ලෝචනා දකින ලසන්තගේ ගති ගුණ මොන වගේද?
ලසන්ත හැමෝටම උදව් කරන කෙනෙක්. නැහැ බැහැ කියන වචන ඔහු ළඟ නැහැ. අනෙක මට වඩා ලෝකය ගැන දන්න පොත්පත් බලන තාක්ෂණය ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක් ලසන්ත. කතාව බොහොම අඩු වැඩියෙන් ඇහුම්කන් දෙන කෙනෙක් එයා. පවුලේ දේවල් කොහොම හරි ඉෂ්ට කරන කෙනෙක්. ඕනවටත් වඩා යුතුකම් වගකීම් ඉටු කරන කෙනෙක්. ඒ වගේම රණ්ඩු දබර කවදාවත්ම නැහැ. තරහ ගියත් කෙලින්ම කියන්න තියෙන දෙයක් මුහුණටම කියන කෙනෙක් එයා.
වැඩිපුරම ලෝචනා ඉන්න කැමැති ලංකාවේද නෙදර්ලන්තයේද?
එහෙ පරිසරය හරිම ලස්සනයි. එත් මට එහෙ තිබෙන අධික සීතල ඔරොත්තු නොදෙන තරම්. මට සමර් සීසන් එකට එහෙ ඉන්න බැරි වුණා. හරිම සීතලයි. වතුර මිදෙනවා. නමුත් ඒ රට හරිම නිදහස් රටක්. ලංකාවේ වගේ මාර්ග තදබදය නැහැ. පබ්ලික් ට්‍රාන්ස්ෆෝර්ට් සිස්ටම් එකක් ඒ වෙනුවෙන් තිබෙනවා. ජීවත් වෙන්න හොඳම රටක්. නමුත් ඉතින් ලංකාව තරම් ලෝකෙ කොහෙ ගියත් හොඳ රටක් මට නම් නැහැ.
දෙදෙනාගේම අනාගත බලාපොරොත්තු මොනවාද?
අපිට විශාල බලාපොරොත්තු නම් නැහැ. ඒත් අලුත් නිවහනක පදිංචියට යන බලාපොරොත්තුව තිබෙනවා. ඒ වගේම චිත්‍රපටයක් කරන බලාපොරොත්තුව ලසන්තගේ හිතේ තිබෙනවා. නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ නිර්මාණය වන්නක් එය.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment