හැකියාවට නිසි තැන නොලැබීම කනගාටුවක්‌ - ජනප්‍රිය රංගන ශිල්පිනි සංජනා පීරිස්‌


'චායා' ටෙලි සිත්තමේ 'ටානියා' ගේ චරිතයට ජීවය මුසු කරමින්, 'සොඳුරු සිතැත්ති' හී 'ශෂී' වූ ඇය, 'වසූදා' ටෙලි නාටකයේ 'මාලතී' ලෙසිනුත් රංග ගත වෙමින් මෙරට ප්‍රේක්‌ෂක ජනතාවගේ ආදරය දිනා ගැනීමට සමත්විය. තවමත් යොවුන් වියෙහි පසුවන මේ හැඩකාර යෞවනිය රංගනයට මෙන්ම උඩරට නර්තනයට ද සමත්කම් දක්‌වන්නියකි. ප්‍රවීණ රංගන ශිල්පි ටෙනිසන් කුරේ මහතාගේ ආරාධනයෙන් වේදිකාවට ගොඩවූ ඇය, 'සිවම්මා ධනපාල' වේදිකා නාටකයේ 'සිවම්මාට' ජීවය මුසු කරමින් ප්‍රේක්‌ෂක ආකර්ෂණයට නතු වූවාය. මේ දිනවල තිරගතවන ප්‍රවීණ රංගන ශිල්පි, ලාල් වීරසිංහ අධ්‍යක්‌ෂණය කළ, 'සිංග මචං චාලි' සිනමා සිත්තම ද ඇගේ රංගනයන්ගෙන් වර්ණවත්ව ඇති මෙහොතක 'දිවයින සිනමා කලා' මෙලෙස ඇය සමඟ දොඩමළු වූවාය. ඕ, ජනප්‍රිය රංගන ශිල්පිනි සංජනා පීරිස්‌ ය.

නර්තනයට දැක්‌වූ දක්‍ෂතා නිසාම රංගනයට දොරඟුළු විවර වූණා නේද ..?

ඇත්තෙන්ම ඔව්. බොරලැස්‌ගමුව ශ්‍රියානි කලායතනයේදී කළුආරච්චි නර්තන ගුරු මෑණියන් යටතේ මා උඩරට නර්තනය පිළිබඳව වැඩිදුර හැදෑරීම් සිදු කළා. එතනදී තමයි රංගනයට අවස්‌ථාව උදා වුණේ. 'කඳු යාය නිසලයි' ටෙලි නාට්‍ය නිර්මාණයේ කුඩා චරිතයක්‌ තමයි මං මුලින්ම රඟදැක්‌වූයේ. ඊට පසුව 'වසූදා' හා රංගනයෙන් එක්‌වුණා. මෙහි මගේ චරිතය වූ 'මාලිනී' නිසා හුඟක්‌ හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. ඉන් පසුව, ප්‍රවීණ කලා ශිල්පී ක්‍රිස්‌ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ 'නිම් වලල්ල' ටෙලි නාටකයේ මේනකා නම් වූ විශ්වවිද්‍යාල සිසුවියකගේ දඟකාර චරිතයක්‌ නිරූපණය කළා. ඊට පසු 'මිස්‌ටර් අන්දරේ', 'මකර දඩයම' ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ 25 කදී පමණ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් රැසක්‌ යටතේ මට ලැබුණු විවිධ වූ චරිත රඟදැක්‌වූවා.

2002 දී බස්‌නාහිර පළාත් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔබ....

සත්තකින්ම ඔව්. ඒ සම්මානය ලැබුණේ චානක ප්‍රනාන්දු මහතා අධ්‍යක්‍ෂණය කළ 'බිලි' වේදිකා නාටකයේ රංගනය වෙනුවෙන්. එය මත්ද්‍රව්‍ය විරෝධී නාට්‍යයක්‌.

මේ දිනවල වැඩිපුරම ගැවසෙන්නේ වේදිකාවේ නේද ..?

ඔව්. ආනන්ද එස්‌ විඡේසිරි මහතාගේ 'දෙව්ලොව යනකං' වේදිකා නාටකයේ මම ප්‍රධාන චරිතයක්‌. මේ නාටකය 1973 දී තමයි මුල්වරට වේදිකා ගත වෙන්නේ. විචාරක සම්මාන දිනා ගැනීමටත් සමත් වුණා. මෙහි නව නිෂ්පාදනයේ මංගල දර්ශනය ලබන 26 වැනිදා දෙහිවල එස්‌.ද.එස්‌. ජයසිංහ ශාලාවේදී සවස 6.30ට වේදිකා ගත වෙනවා. පාලකයා සහ සේවකයා අතර පවතින ගැටුම තමයි 'දෙව්ලොව යනකං' නාටකය විද්‍යාමාන කරන්නේ. මීට අමතරව මං 'සිවම්මා ධනපාල' නාටකය සමඟ වසර දෙකක්‌ වේදිකාවේ සැරිසැරුවා. 'සිවම්මා ධනපාල' කියන්නේ වසර 100ක්‌ පැරණි වේදිකා නාටකයට. අතීතයේදී රුක්‌මණි දේවියත් මෙහි රංග ගත වුණා. ඉතිං..එවැනි නාට්‍ය නිර්මාණයකට රංගනයෙන් දායක වීමට ලැබීම මට සැබෑවටම වාසනාවක්‌. ලැබුණු රසික ප්‍රතිචාරත් ඉතාමත් උණුසුම් වූ බව අමතක කරන්න බැහැ. 'බිලි' වේදිකා නාට්‍යයත් මං වේදිකාවේ රඟ පෑ මතකයේ තැන්පත්ව ඇති නාට්‍ය නිර්මාණයක්‌.

රංගනය වෙනුවෙන් ඔබට තිබෙන හැකියාවන් ප්‍රමාණවත් කියා සිතනවාද..?

නෑ. මම එහෙම සිතන්නේ නෑ. තව තවත් හැදැරීම් කළ යුතුව තිබෙනවා. මම රංග කලාව හැදැරුවේ මංගල සේනානායක මහතා යටතේ. හඬ පාලනය පිළිබඳව ප්‍රවීණ කලා ශිල්පිනි, අනෝජා වීරසිංහ මහත්මියගේ 'අභින' හිදී හැදැරීම් සිදු කළා. මේවාට අමතරව ලැබුණු සහ ලැබෙමින් පවතින කලා නිර්මාණ හා එක්‌ව, මගේ රංගන දක්‍ෂතා වැඩි දියුණු කරගනිමින් පසුවෙනවා.

ඔබ සිනමාව වෙනුවෙන් දායක වුවත්, ප්‍රේක්‌ෂකයින්ට දැණුනු යමක්‌ කළේ නැති බවයි මගේ හැගීම..?

'මීදුම් වසන්තේ' සිනමා සිත්තම වෙනුවෙන් රංගගත වෙමින් තමයි මං සිනමාවට ආවේ. නමුත් මගේ සිනමා ගමනට ඔබ කියූ ලෙසටම තවම වසන්තය පැමිණ නැහැ. සිනමාවේ අවස්‌ථා ලබා ගැනීමට නොගැලපෙන වැඩ වෙනුවෙන් ලැබෙන ආරාධනා පිළිගෙන ඉක්‌මනින් වසන්තය ළඟා කර ගැනීමේ කැමැත්තකුත් නැහැ.

නොගැලපෙන ආරාධනා ලැබී ඇති බවක්‌ ද ඒ කතාවෙන් කියවෙන්නේ..?

එහෙම නෙවී කියලා බොරු කියන්න මට බැහැ. ඒ නිසා මම කියනවා එහෙම තමයි කියලා. අයුතු යෝජනා නිසා චරිත අත්හරින්න පවා සිදු වුණා. කලාව ඇතුලේ ඒවා එහෙම වුණත්, මම මගේ ගමන වැඩි කලබල නැතිව ප්‍රවේශමෙන් යනවා. අනික පෙනි සිටිනවාට වඩා රඟපෑමක්‌ ඉදිරිපත් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. අද අපේ කලා ලෝකයේ හැකියාවට නිසි තැන නැහැ. ඒක ලොකු කනගාටුවක්‌. මං වැඩිපුරම කොටු වුණේ දඟකාර කෙළිලොල් චරිතවලට. ඉතිං.. මම හිතන්නේ මගේ හැකියාවන්ගෙන් සහ දක්‌ෂතාවන්ගෙන් තවම කවුරුත් වැඩක්‌ ගෙන නැති බවයි.

ඒ වුණත් ඔබ කලාව අතහැරලත් නැහැ...

ඇත්තෙන්ම කලාව තුළින් තමයි මං ජීවිතය විඳින්නේ. මගේ දක්‌ෂතා සහ හැකියාවනුත්, ප්‍රේක්‌ෂක ආදරයත්, ඒ ගමනට මට උත්තේජනය සපයනවා.

ඔබ වඩා කැමත් කැමති වේදිකාවටද, සිනමාවටද ..?

රංගනය පිළිබඳව ඉගෙන ගන්න තිබෙන හොඳම ස්‌ථානය වේදිකාව. නමුත් මා නිරත වීමට කැමති සිනමාව. කොතනක වුණත්, කලාවට සේවයක්‌ කරමින් මගේ දක්‍ෂතා එළිදැක්‌විය හැකි නම් තෝරා ගැනීමක්‌ සිදුකරන්නත් අපහසුයි.

'සංජනා ක්‍රියේෂන්' හරහා මොනවද කෙරෙන්නේ..

'සංජනා ක්‍රියේෂන්' කියන්නේ මගේ නිෂ්පාදන ආයතනයට. දැනට නම් මේකෙන් කෙරෙන්නේ ඩී.වීඩී. චිත්‍රපට නිෂ්පාදනය විතරයි. 'හායි මයි ස්‌වීට්‌ හාට්‌' ඩී.වීඩී. චිත්‍රපටය තමයි මුලින්ම එළිදැක්‌වූයේ. මීට අමතරව 'කලාබර හේරා' සහ 'ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ' ඇතුළු ඩී.වීඩී. චිත්‍රපට රැසකත් මම රඟපෑවා. කොහොමටත් මේ දිනවල මගේ රංගන ජීවිතය ගලා යන්නේ ඩී.වීඩී. චිත්‍රපට සමඟින් කියලා කියන්න සතුටුයි

සිනමාවේ සහාය අධ්‍යක්‍ෂිකාවක්‌ වූ ඔබ, වේදිකා නාටකයක්‌ අධ්‍යක්‍ෂණය කරමින්, නිෂ්පාදනය ද සිදු කළා නේද ...

සිනමාව වෙනුවෙන් මා මුලින්ම රංගනයෙන් එක්‌වූ 'මීදුම් වසන්තේ' චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂිකාව වුණෙත් මම. 'ආගන්තුක නවාතැනක්‌' වේදිකා නාටකය මා අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය ද සිදු කළා. එය ලීල් ආනන්ද ගජනායක කළ නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 10ය අතරටත් පැමිණියා.



(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment