මට දික්කසාදය ළඟ වුණාට මේනකාට එහෙම නෑ – මධුමාධව අරවින්ද




මධු මාධව අරවින්ද කාලයෙන් කාලයට අලුත් දේ අරගෙන කලාවට අවතීර්ණ නොවුනත් හැමදාමත් ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල මධූ ගැන අලුත් ආරංචියක් පැතිරෙනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මධූව ඇමතුවා. අපිට උත්තර දුන්නේ මේ විදියටයි.

මධු මේ දවස්වල අඩව්වක් අල්ලනවලු….?
ඔව් ඔව්… මේ දවස්වල අඩව් කස්තිරම් අල්ලනවා. දෙරණ රූපවාහිනියේ අලුත්ම නර්තන රියලැටිකරන වැඩසටහනෙන්. කාලෙකට පස්සේ කලාකරුවෙක් ඉස්මතු වෙලා දෙරණට පිං සිද්ධ වෙන්න.

මම නම් ඇහුවේ ඒ අඩව්ව ගැන නමෛයි?
එහෙනම් මොන අඩව්ව ගැනද මම නොදන්න අඩව්වක් මොකක්ද?

මේනකා පීරිස් එක්ක විශේෂ සම්බන්ධයක් තියෙන බව ඇත්තද?
අනේ ඔව්. මේනකාට ආදරේ කළා කියලා අර මම කලින් කිව්ව නර්තන තරගයේදී ප්‍රේක්ෂකයින් දකින්න ඇති. හැබැයි ඒ පෙම්වතිය තරගයේදීම වෙනස් වෙනවා. හෙට තව කෙනෙක් එක්ක නැටුවොත් මේනකා එයාගේ පෙම්වතිය වෙනවද?

 ඒ සම්බන්ධෙ නැටුමට විතරක් නම් ඇයි මේනකා එක්ක අවන්හල්වලට එහෙම යන්නෙ නිතර නිතර?
දෙරණ නර්තන තරගයට පුහුණු වෙන්න යන වෙලාවට මහන්සිය නිවා ගන්න යනවා. ඉතිං නුගේගොඩ අවට තියෙන පුංචි කඩේකට කෝපි එකක්, බිම එකක්, පලතුරු වීදුරුවක් බොන්න ගියාම ඒක දකින අය නරකට දකින්න පුළුවන්. නමුත් මම දන්න විදිහට මේනකා විවාහ වුණ කෙනෙක්. මම දික්කසාදය ආසන්නයේ ඉන්න කෙනෙක්. අපි දෙන්නව එකට දකිනකොට දකින අයට ලස්සනට පේනවා ඇති ඉතිං.

සමාජයට පෙනෙන දේවල් සමහර වෙලාවට ඇත්ත වෙනවා. කොයි මොහොතක හෝ මධුට මේනකා ගැන ආදරයක් හිතුණොත්….?
හිත කාටද යන්න බැරි. ලස්සන තරු ගොඩක් ඉන්නවා. ආදරණීය කාන්තාවෝ ඉන්නවා. ඉතිං මගේ හිත යන එක කාටවත් වළක්වන්න බැහැ. මට ආදරෙන් කතා කරන කෙනෙක්ට පවා මගේ හිත යන්න පුළුවන්. මගේ කියලා තෝරා ගන්න එක් කෙනෙකුට ආදරේ කරන කෙනෙක් නමෛයි මම. සමහරවිට එක්කෙනෙකුට මගේ ළඟ ඉන්න බැරි හේතුවත් එය වෙන්න ඇති. හිත ගියොත් මම එයාටත් ආදරේ කරයි. සමහර විට ඒ ආදරේ ඇයට නොකියා ඉන්නත් ඉඩ තියෙයි. ඇත්තටම කිව්වොත් මේනකා කියන්නේ සුන්දර සහෝදරියක්.

 මධු හා මේනකා ගැන පැතිරෙන කතාව දැන් මේනකා දන්නවද?
මේනකා දන්නවාද කියලා ඇයගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. එයාගෙන් ඇහුවොත් එයා කියයි “අනේ ඇයි එහෙම කියන්නේ කියලා බය වෙයි. අපි කොයි වේලාවකවත් පෞද්ගලික දේවල් කතා කරලා නැහැ. අඩු තරමින් මගේ ළඟ මේනකාගේ ෆෝන් නම්බර් එකවත් නැහැ.

 මධු ළඟ මේනකාගේ ෆෝන් නම්බර් එක නෑ කීවට හිතවත්කම කොයි තරම්ද කියනවා නම් මධුගේ අලුත්ම ගීතයේ රූප රචනාවට ඇය නේද රඟන්නේ….?
අවුරුදු ගණනකට පස්සේ ගීතයක් කළා. මේ ගීතය රූප රචනාව සහිතව මේ මාසේ අන්තිමට විකාශය කරන්න බලා‍පොරොත්තු වෙනවා. මේ ගීතයේ රූප රචනාවට සම්බන්ධ වුණේ නම් මේනකා තමයි. ඒක දැකලා තව මොනවගේ කතා කියයිද දන්නේ නැහැ ඉතිං. කොහොම වුණත් මේ ගීතය ආදරණීය ගීතයක් වේවි. මේ ගීතය ලිව්වේ මාධව. මාධව මල්ලි මේ ගීතය මීට මාස හය හතකට කලින් මගේ අතට ගෙනත් දෙනකොට එයා දන්නේ නැහැ මගේ ජීවිතේ කවුරුත් නැහැ කියලා. මටත් දැනිලා තිබුණා. ගිය දේවල් වලට ආදරේ කරන කෙනෙක් මම. මම ඒ ආදරේට ගරු කරනවා. ඒක අමාරු දෙයක්. නමුත් ඒ පාඩම හැමෝම ඉගෙන ගන්නවා නම් හොඳයි. බත් වේලක් කන්න දුන්න නම් හෙවණක් දුන්නා නම්, කවුරුත් හෙවණක් නොදුන් වෙලාවක හෙවණක් දුන් ජීවිතේ වටිනවා. ඉතිං මේ ගීතය මට දැනුණේ ඒ නිසයි. ඒ වගේම මේ ගීතයේ රිගිං ටෝන් වලින් ලැබෙන මුදල් මම අසරණයන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

මධු කියන විදිහට මධුගේ හිත බොහෝ තරුණියන්ගේ හිත් ළඟ නතර වෙලා. අපේ කතා බහ අවසන් කරන්න කලින් උත්තරයක් දෙන්න මේ වෙනකොට මධූගේ හිත කීදෙනෙක් ළඟ නතර වෙලා තියෙනවාද කියලා….?
මගේ හිත නතර වුණ ගණන ගණන් කරන්න බැරි තරම්. හිසේ කෙස් ගානකට කියන්න පුළුවන්. ඒ නිසා තමයි ඉහේ කෙස් නැත්තේ. ඇත්තටම කිව්වොත් මම ආදරය කළ හැම කෙනාගෙම මතක මං ළඟ තියෙනවා. අදටත් පළමු පෙම ගැන මම හොයනවා. ආදරය කළ හැම කෙනාගෙම උපන් දින මතකයි. සමහර වෙලාවට මං ඒ අයට හොරෙන් ඒ අය ගැන හොයලා බලනවා. නමුත් ඒ ආදරය මිසක් වෙන හිතකින් ප්‍රේම කළා නම් නමෛයි. වනචරකමට හිත ගිය තරුණියන්ට ප්‍රේම කළා නොමෙයි කියන එකත් කියන්න ඕන. ඒ වගේම ඕනැම කෙනෙක්ට ආදරය කරන්න අයිතියක් තියෙනවනේ.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment