ඔය කටකතාවලට උත්තර බඳින්න මට බෑ – මේනකා පීරිස්


මේනකා කාලෙකට පස්සේ නටන්න පටන් අරගෙන නේද?
ඔව්. දෙරණ රූපවාහිනියෙන් මට ආරාධනාවක් ලැබුණා. ඒ නර්තන රියැලිටි වැඩසටහන වෙනස්. ඒ නිසා අවුරුදු හයකට පස්සේ ආයෙමත් නටන්න මම ඒ ආරාධනාව භාර ගත්තා. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. ඒකට සම්බන්ධ වුණේ හරිම සතුටින්.

පසුගිය සතියේ මධුමාධව එක්ක යෙදුන නර්තන අංගයට විශේෂයෙන් ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි?
කාලෙකට පස්සේ නර්තන වැඩසටහනකට සම්බන්ධ වුණ නිසා වෙන්න ඇති හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් කියලා එකක් කියන්න අමාරුයි. මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ වැඩසටහන පටන් අරගෙන සති දෙකකට පස්සේ. පළමු නර්තනය ඉදිරිපත් කළේ තනියම. මොකද ඒක පටිගත කරන්න දින කිහිපයක් තිබුණු නිසා. ඊට පස්සේ නර්තන අංගය තමයි මධු අයියා එක්ක කළේ. එදා නර්තන අංගයට අපේ කණ්ඩායමේ හිටියේ මමයි මධු අයියයි විතරයි. ඒ නිසා අපි දෙන්නා ඒ නර්තන අංගය ඉදිරිපත් කළා. ඉදිරියේදී ඊට වඩා එකිනෙකට වෙනස් නර්තන අංග රැසක් දකින්න පුළුවන්.

මේනකා ජනප්‍රිය වැඩිවෙනකොට විවිධ කට කතා හැදෙනවා වැඩියිනේ. මේනකා පීරිස් කියන චරිතයට කට කතාවක් හැදුනොත් ඔබ ඊට දක්වන ප්‍රතිචාරය කොයි වගේද?
මම නම් කටකතාවලට උත්තර බඳින්න යන්නේ නැහැ. කටකතාවලට ඉනිමං බඳින්න මට බැහැ. ඕවාට උත්තර දීලා තරහ ගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ. කතා හදන්න ඕන දෙයක් කියන්න ඕනෑම කෙනකුට අයිතියක් තියෙනවා.

සාමාන්‍ය මිනිසුන්ට ‍නෙවෙයි කටකතා හැදෙන්නේ. ජනප්‍රිය පුද්ගලයින්ට. ඉතින් මම ඕවාට සැලෙන්නේත් දුක් වෙන්නේත් නැහැ. කට කතා මිසක් ඕවා ඇත්ත කතා නොවන නිසා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය වගේ නමෛයි අපි හරිම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ඒ වෙලාවට කාත් එක්ක හරි කතා කළොත් කෝපි එකක් බොන්න ගියොත් මිනිස්සු ඒක ලොකුවට අරගෙන කතා ගොතනවා. ලොකු විනාශයක් කරන්න හදනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ නිසා මට කට කතා ගැන කිසි කතාවක් නැහැ. මම දන්නවා මම කවුද මම මොනවද කරන්නේ කියලා. අපි කරන දේ තමයි අපේ පැවැත්ම හදාගන්නේ. ඒක දැනගෙන මම ජීවත් වෙනවා.

ඔබේ කලා වැඩවලට සැමියාගෙන් වැට බැඳෙන්නේ නැද්ද?
මගේ හස්බන්ඩ් හුඟක් හොඳ කෙනෙක්. එයා දන්නවා මම කැමති අකැමැති මොනවද කියලා. ඒ නිසා මම කැමති දේට එයා ඉඩ දෙනවා.

ආයෙත් විදෙස් ගත වෙනවාද?
හස්බන්ඩ් ඉන්නේ නෝර්වේ. එහෙ මට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා හස්බන්ඩ් මට කිව්වා ලංකාවට ගිහින් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා. එයාට නිතර එන්න පුළුවන් නිසා එයා මාව බලන්න එන්නම් කියලා. මොකද මට පවුල් ජීවිතේ වටිනවා. මගේ ජීවිතේ අංක එක පවුල. මගේ හස්බන්ව මගේ අම්මා තාත්තා මල්ලි නැතුව මට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මම ලංකාවට ආවා. වැඩ කටයුතු අවසන් වුණ ගමන් නෝර්වේ යනවා. ටික දවසක් එහෙ ඉඳලා ආයෙමත් එනවා.

පුංචි පවුල සම්පූර්ණ වෙන්න කල් යයිද?
අපි විවාහ වෙලා අවුරුද්දක් වෙනවා. දැනට නම් එහෙම බලා‍පොරොත්තුවක් නැහැ. ඒත් කවදා හරි දවසක ආදරණීය අම්මා කෙනෙක් වෙන්න බලා‍පොරොත්තු වෙනවා.
මේනකාගේ රංගන හැකියාව දකින්න ලැබෙන නිර්මාණයක් ගැන මතක් කරමු.
ජැක්සන් ඇත්තනී මහත්මයාගේ සීරජ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකේ විදුලා දේවි මම. වයස අවුරුදු දහ අටේ ඉඳලා වයසක චරිතයක් වෙනකල් රංගනයේ යෙදෙන්න තියෙනවා. මේ දවස්වල එහි රූගතකිරීම් වෙනවා. ඊට අමතරව චරිත් අබේසිංහගේ හීන්දලයා නිර්මාණයේ රූගතකිරීම්වලටත් සම්බන්ධ වෙනවා.


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment