එළියට ආවේ නැතුව ඇතුලෙම කැරකුණු ක්‍රිකට් රහස් ගැන හිටපු ලොක්කෙකුගෙන් හෙළිදරව්වක්


තිලංග තවත් අය එක්ක කාමරයක් ඇතුලේ වෙන ටීම් එකක් තෝරලා ?
මාලිංග වෙනුවට ගන්න හිටියේ කසුන් රජිත

විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට හිටපු ලසිත් මාලිංගව පසුගියදා නායකත්වයෙන් ඉවත් වුණා. මේ ගැන හැමතැනම වගේ දැඩි කතාබහකට ලක්වුණා. මාලිංග හිරු ගොසිප් සමගින් අදහස් දක්වමින්ද මේ බව ප්‍රකාශ කළ අතර ආසියානු ක්‍රිකට් තරගාවලිය පරාජයේ සිට මේ දක්වා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන අර්බුද ගැන වගේම මේ අර්බුදවලට වගකිවයුතු අය ගැනත් තේරීම් කමිටුවේ හිටපු සභාපති කපිල ගුණවර්ධන මහතා සතිඅන්ත පුවත් පතකට අදහස් දක්වා තිබුණේ මේ විදිහට.

1. ඔබ සභාපතිත්වය දැරූ තේරීම් කමිටුවට හදිසියේ ඉවත්වෙලා යන්න සිදු වුණා. එයට හේතුව පැහැදිලි කළොත්. ?
ඒක අපිටත් පැහැදිලි නැහැ.


පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියටත් දැන් පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියටත් පෙබරවාරි 15 දාට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරන්න කියල අපට දැනුම් දුන්නා. ඒක ලොකු අභියෝගයක් වුණත් ඒ කීව දිනයට දින කිහිපයක් ප්‍රමාද වෙලා හෝ අපි කණ්ඩායම් දෙක තෝරල දුන්නා.

ඒ අතර වරින්වර අයි.සී.සී. යටත් කතා කරලා තුන් හතර වරක් නියමිත කාලය දිග්ගස්ස ගෙන තිබුණා. කොහොම වුණත් අපි තෝරපු සංචිත දෙකම ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කරලයි නිකුත් කළේ. ඒත් විස්සයි - 20 ලෝක කුසලානයට කණ්ඩායම තෝරන්න මාර්තු 7දා තෙක් කල් තියෙනවා කියල ඒ වෙලාවෙ අපට කියල තිබුණේ නැහැ. හැබැයි හැම තේරීමකටම සාධාරණ හේතු කාරණා අපි බලධාරීන්ට පැහැදිලි කරල තිබුණා.

2. ඉන්පසුව බංග්ලාදේශයේදී ආසියානු කුසලාන පරාජයත් සමඟ හටගත් අර්බුදය කුමක්ද?
කණ්ඩායම ආසියානු කුසලානයට පිටත්ව ගොස් ටික දිනකින් ලසිත් මාලිංග නායකත්වයෙන් ඉල්ලා අස්වුණා කියලා අපට දැනුම් දුන්නා.

3. කවදද මාලිංගගේ ඉල්ලා අස්වීම දැනුම් දුන්නෙ?
ආසියානු කුසලානය අතරතුර පෙබරවාරි 5දා ඒ අනුව කණ්ඩායමත් නැවත ලංකාවට ආවාට පසු දිනක අපි තේරීම් කමිටුව හමුවෙලා ලසිත් මාලිංගවත් මුලින්ම කැඳවලා ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතු විමසුවා. එවිට ඔහු කියපු දෙයක් තමයි, ලෝක කුසලානයට පත්කරපු නිල නායකයා හැටියට එයා ඉන්න විටදී ක්‍රීඩා ඇමැතිතුමයි, ක්‍රිකට් සභාපතිතුමයි, හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුයි, කණ්ඩායමේ වෙන ක්‍රීඩකයකු සමඟ කාමරයක් තුළ එයා (මාලිංග) ඉදිරියේදී තේරීම් ගැන කතා කරාලු. එහෙම නිල නායකයා ලෙස තමන් සිටිද්දී වෙනත් ක්‍රීඩකයන් සමඟ තේරීම් ගැන කතා කරනවා නම් නායකත්වයේ ඉඳලා වැඩක් නැහැ කියලයි මාලිංග නායකත්වයෙන් ඉවත් වුණේ. ඊට පසු අපට දැනුම් දීමක් ආව නව නායකයෙක් තෝරන්න කියලා.

4. මේ සම්බන්ධව ක්‍රිකට් ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කළාද?
ඔව්. ඒ අවස්ථාවේදී මට දුරකතන ඇමැතුම් දෙකක් ලැබුණා. එකක් ක්‍රිකට් ලේකම්තුමාගෙන් එකක් සභාපතිතුමාගෙන්. එයාල කීවෙ ක්‍රීඩා ඇමැතිතුමා එයාලට දන්වලා තියෙනවා කියලා, අපි තෝරපු සංචිතය ගැන එතුමා සෑහීමකට පවත්වෙන්නෙ නැහැ.
කණ්ඩායමට අලුත් නායකයෙක් පත් කරන ගමන් කණ්ඩායමත් මාරු කළ යුතුයි කියලා ක්‍රීඩා ඇමැතිතුමාට අපි නිර්දේශ කරලා එතුමාම අනුමත කරපු කණ්ඩායමක් එතුමාගේ ලිඛිත නියෝගයක් නැතුව අපට වෙනස් කරන්න බැහැ කියල ඒ මොහොතේ මම ක්‍රිකට් ලේකම්ටත් සභාපතිටත් කිව්වා. හේතුව අපි වගඋත්තර බඳින්නෙ ඇමැතිතුමාටයි. ඒ නිසා අපි මෙම කාරණා සඳහන් කරල ක්‍රීඩා ඇමැතිතුමාට විද්‍යුත් තැපෑලක් යැව්වා. ඒ අනුව අපි 6දා හමුවුණා.

5. ඒ හමුවීමට කවුද සහභාගි වුණේ?
තේරීම් කමිටුවයි ජාතික පුහුණුකරුයි හමුවුණා. පසුව ඒ හමුවට ක්‍රිකට් උපලේකම් සහභාගි වුණා. එතැනදී පැහැදිලි වූ දෙයක් තමයි ආසියානු කුසලානයේ තරග 4කට නායකයෝ තුන් දෙනෙක් හිටියා. ඒක යෞවන ක්‍රීඩකයන්ට ගැටලුවක් වුණා කියලත් පෙන්නුවා. ඒ වගේම නායකත්වය ගත් යම් යම් තීරණ නිසාත් තරග පරාජය වුණා. ආසියානු කුසලානයට යෑමට පෙර බොහොම පැහැදිලිව කී දෙයක් තමයි යම් හෙයකින් ලසිත් මාලිංගට තරගවලට සහභාගි වෙන්න බැරි වුණොත් වෙනත් ක්‍රීඩකයකු ඔහු වෙනුවට ආදේශ කරනවා කියලා එම එකඟතාව උඩ තමයි ගියේ. නමුත් තරගාවලිය අතරතුර පුහුණුකරු හරහා ක්‍රීඩකයකු අවශ්‍ය බවට ආ ඉල්ලීම විධායක කමිටුවට ඉදිරිපත් කළාම මාලිංග ආපසු එන්නෙ නැතිව තවත් ක්‍රීඩකයෙක් යවන්න නොහැකියි කියල තීරණයක් ගත්තා. එම තීරණයෙන් තරගවලදී කණ්ඩායමට යම් බලපෑමක් සිදු වුණා.

6. මාලිංග දිගින් දිගටම ක්‍රීඩා නොකළත් කණ්ඩායම සමඟ රැඳී සිටියේ කාගේ තීරණයක් අනුවද?
ඒක අපි ගත්ත සාමූහික තීරණයක්. හේතුව මොකද? අපිට ලැබී තිබුණ වෛද්‍ය වාර්තා අනුව මාලිංගට තවත් දින දෙක තුනකින් සුව වෙනවා කියලා තිබුණා. පළමු තරගය ක්‍රීඩා කරලා මාලිංග ආබාධයට ලක් වුණා. තවත් වේග පන්දු යවන්නෙක් අපි නිර්දේශ කරල තිබුණාම ඔහු යවන්න බැහැ කියලයි ක්‍රිකට් ආයතනය කීවෙ.

7. කවුද මාලිංග වෙනුවට යවන්න සූදානම් කරල තිබුණෙ?
කසුන් රාජිතව යවන්න කියලයි අපි නිර්දේශ කළේ. කලින් තෝරල තිබුණෙත් ඔහුටයි.

8.ඉන් පසුව සිදුවූ දේ විස්තර කළොත්?
ඒ වන විට ඇන්ජිලෝ මැතිව්ස් පවා ආබාධිත තත්ත්වයෙ හිටියෙ. ඔහුගේ එම කකුලෙ ආබාධිත තත්ත්වයත් මාස 6 - 7ක කාලයක සිට තිබෙන නිසා ඔහුට දිගටම පන්දු යවන්න හැකිද යන්න අවිනිශ්චිතවයි තිබුණෙ. ඒ අනුව මුලින්ම අපි කළේ මාලිංග වෙනුවට කසුන් රාජිතව නිර්දේශ කළා. හේතුව අපි තීරණ ගන්න ඕන. කණ්ඩායම් හා රටේ අවශ්‍යතාව අනුව. ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවන් උඩ නෙවෙයිනේ. අපේ අදහසට මාලිංගත් එකඟ වුණා.

9. එහෙත් පසුගිය 7දා සවස් වන විට තීරණයක් ගත්තා ලෝක කුසලාන තරගාවලියට අලුත් කණ්ඩායමක් නම් කරනවා කියලා?
නැහැ. නැහැ. අපි නම් කරපු කලින් සංචිතය අපිට වෙනස් කරන්න බැහැ. හේතුව අපි ඒ කණ්ඩායම අයි.සී.සී. එකට යවලයි තිබුණේ. අපේ තීරණය වුණේ කණ්ඩායමට අවශ්‍ය ආදේශකයන් කිරීමයි. අනෙක මාලිංග අපට දැනුම් දීලත් තිබුණා මාර්තු 15දා වනතෙක් ලංකාවෙ සිට ප්‍රතිකාර ලබාගන්න ඕන කියලා. අපි කසුන් රාජිතව ආදේශ කළේ මාර්තු 6දා එවගේම අපි තීරණය කළේ ආසියානු කුසලානයේදී සිදුවුණ නායකයන් මාරු කිරීමේ තත්ත්වය නැවත උදා නොවන්න කටයුතු කරන්නයි. ඒ අනුව මාලිංගයි, මැතිව්ස් දෙන්නම ආබාධ නිසා විස්සයි - 20 ලෝක කුසලානයේදී නායකත්වයට චන්දිමාල් නම් කළා.

10. ඉන් පසුව ඔබේ තේරීම් කමිටුව ක්‍රිකට් සභාපති ලේකම් ඇතුළු විධායක සභාවත් හමුවෙලා කතා කළාද?
නැහැ. අපේ සාකච්ඡාව අවසන් වෙලා එදින දවාලෙ අපි ක්‍රිකට් ආයතනයෙන් පිටවෙලා ආවා. ඊට පසුව අපි ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධයක් වුණේ නැහැ. එදින දවල් 12.00ට පමණ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රුවන්චන්ද්‍ර මහතා දුරකතනයෙන් කතා කරලා තේරීම් කමිටුව වෙනස් කරන්න ඇමැතිතුමා තීරණයක් අරගෙන තියෙනවා කියල දැන්වූවා. කිසි ප්‍රශ්නයක් නැහැ අනෙක් සාමාජිකයන්ටත් දැනුම් දෙන බව මම කිව්වා.

11. නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්වෙන්නෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ඉන්දියාවට පිටත් වෙන්නෙත් එකම දවසකයි. මේ ගැන ඔබේ අදහස?
ඒක ඇත්ත. අපි ඔය කියන තරම් වැරැදි තේරීම් කරල තිබ්බා නම් අලුත් කණ්ඩායමෙන් 7 - 8 දෙනෙක් වෙනස් වෙන්න ඕන නේද? මට තියෙන ප්‍රශ්නය ඒකයි. අන්තිමට වෙනස් කළේ ක්‍රීඩකයෝ දෙන්නයි. ඒකෙන් දක්ෂතා උඩ තේරී පත්වුණ ක්‍රීඩකයන්ට ලොකු අසාධාරණයක් වුණා.

12. මාර්තු 15දා දක්වා ක්‍රීඩා කරන්න බැහැ කියල පැහැදිලිව මාලිංග දන්වා සිටියද නව තේරීම් කමිටුව ඔහුව එක්වරම කණ්ඩායමට තෝරා ගත්තේ කෙසේද?
ඒක ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. මාලිංගව සංචිතයෙන් ඉවත් කරපු එක අපෙන් වෙච්ච වැරැදි තීරණයක් කියල පෙන්වන්න හදනවා. හැබැයි ඒක කිඹුල් කඳුළු හෙළීමක්. මොකද මාලිංගගේ නායකත්වය වෙනස් කරන්න පුළුවන් ඔක්කොම බලපෑම් කරලනේ තිබුණෙ.

13. ඔබේ කමිටුව ඉවත් කළ විදිය අසාධාරණයි කියලද ඔබ කියන්නෙ?
මට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ වෙච්ච අසාධාරණ ගැනයි. තේරීම් කමිටුවක් පත් කරන්නත්, ඉවත් කරන්නත් ඕන ගැසට් නිවේදනයක් මඟිනුයි. දැන් ඉස්සරහට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් අවශ්‍ය නැහැනේ. සභාපතිටයි, ක්‍රීඩා ඇමැතිටයි මීට පසුව තේරීම් කරන්න පුළුවන්. මේකෙ ඇත්ත කතාව සහජ හැකියාවෙන් තේරුණ ළමයි දෙන්නෙක් අද අසාධාරණ ලෙස ඉවත් කරල. ඒ දෙන්නට ලෝක කුසලානයට යන්න ගුවන් ගමන් බලපත්‍රත් දීල තිබුණෙ. ඒ දෙන්නට වෙච්ච අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

14. ඔබ කියන්නෙ නව තේරීම්වලදී අනියම් බලපෑම් වෙලා තියෙනවා?
ඒක හරි පැහැදිලියි. අපි හරහා කරගන්න බැරිවුණ තේරීම් වෙන කමිටුවක් හරහා කරගෙන තියෙනවා. තනිකර ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉටු කරන්නයි එහෙම කළේ. නැත්නම් පැය දෙක තුනකින් කොහොමද කණ්ඩායමක් තෝරන්නෙ. මින් ඉදිරියටවත් මෙවන් දේ සිදු නොවේවා කියලයි කියන්නෙ.
Comments - ඔබේ අදහස් පහතින් දක්වන්න


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment