ඇරපු අතක් නෑ මේ ඉන්නේ ඔහුම තමයි



වලවේ ගඟේ නාන්න ගිහින් දත ගලක වැදුණා

චරිතෙ විශේෂ නොවෙයි අති විශේෂයි

මට කියවන්න ලියන්න බැහැ

* ඔබ?

බින්දු බෝතලේගම.

* මා නිවැරැදි නම් ඔබේ ඇත්ත නම ඒක නෙවෙයි?

ඔව්. ඔබ හරි.

* ඊළඟට මං ඔබෙන් අහන්නේ ඔබගේ උප්පැන්න සහතිකයේ ඇති නම?

බෝතලේගම රණවක ආරච්චිගේ ජනක කුමාර.

* ඇයි ඔබ බින්දු වගේ නමක් යොදා ගන්න තිරණය කළේ?

කලා ලොවේ බොහෝ අයගේ නම් තමන්ගේ ඇත්ත නම් නෙවෙයි. ඒවා වෙනමම හදාගත්තු ඒවා. නමුත් අනවර්ථ නමින් තමයි ඒ අය ජනප්‍රිය වුණේ. මටත් හිතුණා එවැනි නමක් පාවිච්චි කරන්න.

* කවුද ඔබට 'බින්දු' කියන නම තිබ්බේ?

අපේ චතුර පෙරේරා.

* බින්දු කොහොමද කලවට එන්නේ, අහම්බෙන්ද?

නැහැ. මං කොළඹ කෙනෙක් නෙවෙයි. මං ගමේ ඉන්න කොට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඒ ගමේ පොඩි තැනකින්. ඒත් අත දෙන්න කවුරුවත් හිටියේ නැහැ.

* එතකොට ඔබ ජනප්‍රිය නිර්මාණවලට එකතු වන්නේ?

එහෙම මට අවස්ථාව අරගෙන දුන්නේ ටෙඩී විද්‍යාලංකාර සහ චතුර පෙරේරා වගේ මහත්තුරු.

* මොකක්ද පළමුවැනි නිර්මාණය වුණේ?

ලාල් ප්‍රියදේව මහත්මයාගේ අන්දුන් කුන්දුන් චිත්‍රපටය. අනතුරුව ඩොක්ටර් නවරියන්, ගින්දරී වගේ චිත්‍රපටවල රඟපෑවා.

* බින්දු වඩාත් ජනප්‍රිය වුණේ අන්තර්ජාලයට එක් වූ ඔබ බන්දු සමරසිංහව අනුකරණය කරන වීඩියෝවෙන් නේද?

ඔය විදිහට මාව පටිගත කළේ මගේ යාළුවෙක්. ඒක ඉන්ටර්නෙට් දැම්මා.

* ඔබ ඇයි බන්දුව අනුකරණය කරන්නේ ?

මං එතුමාව අනුකරණය කරනවා නෙවෙයි. මේ මගේ සැබෑ ස්වරූපය. ගොඩක් අය කිව්වා මං එතුමා වගේ කියලා. ඉතිං මං අපේ යාළුවෝ සෙට්වන තැන්වලදී එතුමා වගේ කතා කළා, හිනා වුණා. අන්න එතකොට ගොඩක් දෙනෙක් කිව්වා ඇරපු අතක් නැහැ මේ ඉන්නේ ඔහුමයි කියලා. ඔය අතරෙ තමයි අර වීඩියෝව අවුට් වුණේ.

* ඔබට එමඟින් නව මාවතක් විවර වෙනවා කලා ලෝකයට?

අනේ ඔව්. මට දෙරණින් කතා කළා චතුර අල්විස් මහත්තයා කරන උදෑසන වැඩසටනට. ඒකට ගිහින් ආවට පස්සෙ ලැබුණු ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මගේ ඉල්ලුම වැඩි වුණේ ඒත් එක්කම වගේ තමයි.

* ඔය අතරෙ ඔබට ඩී. වී. ඩී මාධ්‍යයෙන් කරන චිත්‍රපට සඳහා ටිකක් වැඩිපුර කතා කරනවා?

දෙයියන්ගේ පිහිටෙන් මං හිටපු ඩී. වී. ඩී. හොඳට විකුනුණා. දිගින් දිගටම ඇරැයුම් ලැබුණා ඒවට. මමත් ඉතින් බෑ නොකියා කතා කරපු හැම ඩී. වී. ඩී. එකකටම ගියා.

* නමුත් ඔබ රඟපෑ ඇතැම් ඩී. වී. ඩී. චිත්‍රපට ගන්න දෙයක් නැහැ?

ඒක වුණේ මෙහෙමයි මහත්තයෝ. මට ඕනෑ වුණේ ජනප්‍රිය වෙන්න. ඒ හින්දා මට කතා කරපු හැම නිර්මාණයකටම මං ගියා. කියන්න ලැජ්ජයි මට ඇතැම් ඒවායින් දුන්නු ගාන පවා. ඒත් මොනවා කරන්නද මං ඒවට ගියා. නමුත් දැන් මං මේක ගැන ඩිංගිත්තක් දන්නවා. අයේ ඉස්සර වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ.

* ඇතැම් අය කියනවා ඔබ දැන් බන්දුම වෙන්න උත්සාහ කරනවා කියලා. ඔබේ කටේ උඩු ඇන්දෙ දත ගැලෙව්වෙත් ඒකලු?

අම්මපා ඒක බොරුවක්. මගේ දත හොඳට තිබුණා. වලවේ ගඟේ නාන්න ගිහින් ගලක දත වැදුණා. ඊට පස්සේ ඒක දිරන්නට පටන් ගත්තා. ඉස්පිරිතාලෙන් මොකද කිව්වේ දත ගලෝමු කිව්වා. නැත්නම් නාසයට බලපෑමක් වෙනවලු. හත්ඉලව්වේ ඉතින් මං දත ගැලෙව්වා.

* බොරුවක් නෙවෙයිනෙ ඔය කිව්වේ?

සහතික ඇත්ත. මට ඕන නම් මගේ දත ගලවපු ඩොක්ටර්ව වුණත් මුණගස්වන්න පුළුවන්.

* ඔබගේ ඔය රංගන විලාසය දැකලා බන්දු සමරසිංහ නඩුවක් පැවරුවා?

තවමත් ඒ නඩුව යනවා. තීන්දුවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී ඒක හොඳ විදිහට විසඳේවි කියලා හිතනවා.

* මේ දිනවල ඔබ සිටින චිත්‍රපටයක් තිරගත වෙනවා. එහි කතානායකයා ඔබ. ඒ අනුව බලන කළ සිංහල සිනමාවට ආගමනය වූ අලුත්ම තරුව ඔබයි?

ඒ චිත්‍රපටයේ නම නටන් නැතුව දින්නා. කල්‍යාණ චන්ද්‍රසේකර තමයි එහි අධ්‍යක්ෂ. ඔහු නිසයි මා සිනමාවට ආවේ.

* නටන් නැතුව දින්නා චිත්‍රපටයේ ඔබේ චරිතය ඔබට විශේෂයි?

විශේෂයි නෙවෙයි අති විශේෂයි. මොකද මං මෙච්චර කල් කළේ අනුකරණවාදී රංගනය. නමුත් සියයට සියයක්ම අනුකරණයකින් තොරව රඟපෑවේ ඒකේ.

* චිත්‍රපටය කරන්නට ගිහින් කිහිප දෙනෙකුට ගැහැව්වා කියලා දැනගන්නට ලැබුණා?

නටන් නැතුව දින්නා දර්ශනයක..

සටන් දර්ශනයෙදි එහෙම වුණේ. අත පය දිග හැරලා හොඳට නෙලුවා. මං ගුටිකනවට වැඩිය මගෙත් එක්ක සටන් කරපු අය ගුටි කෑවා.

* බින්දු ටෙලි නාට්‍යවලටත් පිවිසුණා නේද?

ඔව්. උතුම් පැතුම් සහ අංකල් සෑම් කියන නාට්‍ය ද්විත්වයේ එකිනෙකට වෙනස් වූ චරිත දෙකක් කරනවා.

* බින්දු කොළඹ කෙනෙක් නෙවෙයි කියලා කලින් කිව්වා. ගම් පළාත ගැන සඳහනක් කළොත්?

මගේ ගම ඇඹිලිපිටිය සෙවනගල. බෙහොම දුෂ්කර ජීවිතයක් මං ඒ කාලේ ගත කළේ.

* කැමැති නම් ඒ අතීතය ගැන කියන්න?

මං ලැජ්ජ වෙන්නේ නැහැ මං වින්ද වේදනාවන් ගැන කියන්න. මගේ තාත්තා නැහැ. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ආර්ථික දුෂ්කරතා එමට තිබුණා. ඒවා දරාගන්න බැරුව අම්මා රට ගියා. එතකොට බාල මල්ලි කිරිබොන වයසෙ හිටියේ. මං ඒ දෙන්නව බලාගත්තා. දෙවැනි මල්ලිව ඉස්කෝලේ යැව්වා. ඒ හේතුවෙන් මට ඉගෙන ගන්න බැරි වුණා. ගෙදර වියදම් පිරිමහ ගන්න මට කුලී වැඩ කරන්න වුණා. මං වැඩිපුරම කළේ මේසන් බාස්ලට අත් උදවු සපයපු එක. ඔය කාලේ අපේ ඉඩකඩම් එක එක අය බලෙන් ලියා ගත්තා. පාරට ඇද වැටෙන්න ඔන්න මෙන්න හිටියේ. ඒත් එහෙම වුණේ නැහැ.

* බින්දු වර්තමානයේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

දෙවියන්ගේ පිහිටෙන් මා අද කාලා ඇඳලා හොඳට ඉන්නවා. කලාවට පිවිසීම තුළින් මට ස්්ථාවර වෙන්න පුළුවන් වුණා. මගේ අම්මට කන්න බොන්න දීලා, මල්ලිලා දෙන්නවත් බලාගෙන මං අද හොඳ ජීවිතයක් ගෙවනවා. මේ සියල්ල කලාව හින්දා. මේ වෙලාවේ මට බන්දු සමරසිංහ මහත්තයාව මතක් කළ යුතුමයි. එතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ. මොකද එතුමාව අනුගමනය කළ නිසයි මට මෙච්චර දිගු ගමනක් යන්න ලැබුණේ.

* ඔබට මෙතුවක් කල් ලැබුණු නිර්මාණවල පිටපත් ඔබ විසින් කියවන්නේ නැහැලු. ඇයි ඒ?

ඔය කාරණාවට හේතුව මං නොසඟවා පවසන්නම්. මොකද අපිට බැරි දේවල් ගැන දුක් විය යුතු නොවන හින්දා. මට දෙයක් කියවන්න ලියන්න බැහැ. මොකද මට ඉස්කෝලේ යන්න ලැබුණේ නැහැනෙ. නමුත් පිටපතෙහි ඇති දෙබස් මට වෙන කෙනෙකු කිව්වට පස්සේ ඒවා මතක තබාගෙන රඟපාන්න පුළුවන්.

* ඔබේ ජනප්‍රියත්වය ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම රසික රසිකාවනුත් එන්න එන්න ළං වෙනවා. නැතිද ඒ අතරේ විශේෂ කෙනෙකු ලැබුණේ?

ඔය අහන්නේ ආදර හාදකමක් ගැනනෙ. ඉස්සර නම් එහෙම එකක් තිබුණා. එයා දැන් කසාදත් බැඳලා ළමයිනුත් හම්බ වෙලා. මට ඒ කාලේ මේ වගේ මුදල්වත් ජනප්‍රියත්වයවත් තිබුණේ නැහැ. ඒකයි ඒ දැරිවි ගියේ. අනේ දෙයියනේ ඊට පසුව නම් මට හරි යන ගැහැනු ළමයෙකු ලැබුණෙම නැහැ. දත නැති හින්ද ද දන්නෙත් නැහැ අප්පා. කමක් නැහැ, බලමුකො ඉදිරියේදී.

* දැන් කොහොමද ගමට ගියාම ලැබෙන පිළිගැනීම?

ඉතාම ඉහළයි. මගේ මිත්‍රයෝ මගේ නිර්මාණ දැකලා කතා කරනවා. ගොඩක් සතුටුයි ඉතින්. 


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment