විජිත හේරත් අනතුර ගැන කියයි

විජිත හේරත් අනතුර ගැන කියයි

ඊයේ (30) රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (31) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " මා පදවන කැබ් රථය ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්වුණා. එයින් කිසිදු පුද්ගලයෙකුට කිසිදු හානියක් සිදුවුනේ නැහැ. පෞද්ගලිකව මට ද හානියක් සිදුවුනේ නැහැ. මගියෙක් පාර හරහා පනින්න සූදානම්ව සිටි මොහොතේ මම ඔහු බේරා ගැනීමට වාහනය වම් පැත්තට හැරවූවා.

ඒ අවස්ථාවේ දී වාහනය පාර අයිනේ තිබූ දුරකථන කුළුණක වැදුණා.එම දුරකථන කුළුණට අලාභ හානි සිදුවුණා. මා රිය පදවන අවස්ථාවේ දී කිසිදු ආකාරයකින් මත්පැන් පානය කර සිටියේ නැහැ. අනතුරින් පසු මා වෛද්‍යවරයෙකු වෙත යොමුකළා.

ඔහු එම වෛද්‍ය වාර්තාවේ කිසිදු තැනක මා බීමත්ව රිය පැදවූ බව සඳහන් කර නැහැ. එම නිසා මෙම සිදුවීම දඩමීමා කරගෙන මා බීමත්ව රියපැදවූවා කියන අසත්‍ය ප්‍රචාර පළ කිරීම මම තරයේ හෙලා දකිනවා. විවිධ වෙබ් පිටුවල සහ සමාජජාලා වල යන ප්‍රචාරයන් මා තරයේ ප්‍රතික්ෂේප කරනවා.“ යි පැවසීය.

ඊයේ (30) රාත්‍රියේ මන්ත්‍රීවරයා ගමන්ගත් රථය මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී ඇති අතර එහිදී එම දුරකථන කණුව කඩා වැටී ඔහුගේ රථයට ද හානි සිදුවූ බවට වාර්තා විය.

ඒ අනුව සිද්ධියට අදාළව විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (31) දින ඇප මත මුදා හැර තිබේ.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment