දිවි නැගුම නිලධාරීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

දිවි නැගුම නිලධාරීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

ඉදිරි සතිය ඇතුළත දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂවරිය හා පාරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා දිවි නැගුම සංගමයේ ප්‍රධාන සභාපති අයි. බී. අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවර පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී සභාපතිවරයා කියාසිටියේ මේ වනවිට විවිධ අක්‍රමිකතා, වංචා හා දූෂණයන්ගෙන් පිරි දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මෙන්ම අල්ලස් කොමිසමට ද පැමිණිලි කිරීමට තම සංගමය පියවර ගන්නා බවයි.

බැංකු ක්ෂේත්‍රය පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැති ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂවරිය තම හිතවතුන්ට රුපියල් ලක්ෂ 10ක ණය ලබාදෙමින් බැංකු බංකොලොත් කිරීමට පියවර ගෙන ඇති බවත් දිවයින පුරා පිහිටි දිවිනැගුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1076න් බහුතරයක් පසුගිය වසර 02ක කාලයේ අලාභ ලැබු බවත් මේ වනවිට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගමන් දීමනා අත්හිටුවා එම දීමනාවන්ද පාඩු ලබන බැංකු වෙතින් ලබාගන්නා ලෙස නියෝග කොට ඇති බවත් ඔහු කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ දිවි නැගුම දෙපාර්තමේන්තුව මෙලෙස අක්‍රීය වීම බොහෝවිට මෙරටේ විශාල දේශපාලන පෙරළියකට පවා හේතුවක් වියහැකි බවයි.

මෙම මාධ්‍ය හමුවට එම සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්. බස්නායක, සුභ සාධන ලේකම් කේ.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment