'ආවා කල්ලිය ගැන බියවිය යුතු නැහැ' - වන්නි ආඥාපති

'ආවා කල්ලිය ගැන බියවිය යුතු නැහැ' - වන්නි ආඥාපති

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ බරපතල සිදුවීම් කිසිවක් පසුගිය කාලයේ වාර්තා වී නොමැති බවත් 'ආවා' කල්ලිය සම්බන්ධයෙන් උතුරට එන සිංහල ජනතාව බියවිය යුතු නැති බවත් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා පවසයි.

වන්නි ආඥාපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (31) රාත්‍රියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී ආඥාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ," යාපනය, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක ගත්තහම එහි ජන අනුපාතය වව්නියාවට හා මන්නාරමට වඩා වෙනස්. ඒ නිසා එම දිස්ත්‍රික්කවල සිදුවීම්වල ඝනත්වය මන්නරම හා වව්නියාවට වඩා වැඩි බවක් පෙනෙන්නට තියෙනවා. නමුත් පසුගිය කාලයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වුනේ නැහැ කියන එකයි මගේ තක්සේරුව" ලෙසයි. 

මෙහිදී යාපනයේ ක්‍රියාත්මක වන 'ආවා' කල්ලිය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වන්නි ආඥාපතිවරයා කියාසිටියේ, "ඔය ආවා කල්ලිය මංකොල්ල කණ්ඩායමක් කියල අපිට තොරතුරු ලැබිල තියෙනවා. මීට ප්‍රථමත් ආවා කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පසුව එම කණ්ඩායමේ ආපු දෙවන නායකයා විසින් මංකොල්ල කෑමේ කටයුතු සිදු කරගෙන යන ආකාරයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම දකුණේ සිට උතුරට එන ජනතාවටත් ආවා කල්ලිය ගැන බිය විය යුතු නැහැ. හමුදාවේ ප්‍රධාන රාජකාරිය තමයි යුද්ධ කිරීම. දැන් යුද්ධය අවසන්. යුද්දෙන් පස්සේ අපෙ රාජකාරිය තමයි රට වැසියා සහ රට රැකීම. අපිට සතුටු වෙන්න පුලුවන් පසුගිය වසර කිහිපය පුරාවට බැලුවහම යුද කාල සීමාවේත් පශ්චාත් යුද කාල සීමාවේත් රටේ ආරක්ෂාව සඳහා වගේම ඉන් පසු රටේ සංවර්ධනය සඳහාත් අපිට මහඟු දායකත්වයක් ලබා දීමට හැකි වීම ගැන" යනුවෙනි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment