ඔහොමද හලෝ පාරේ යන්නෙ කියා ලීස් එක ගෙවාගන්න කෙල්ලන්ගේ ෆෝන් කොල්ලකාපු කොල්ලා


යතුරුපැදියේ ලීසිං වාරික ගෙවා ගැනීම සඳහා පාරේ ගිය වෛද්‍ය ශිෂ්‍යාවක් ඇතුළු තරුණියන් හත් දෙනකුගේ ජංගම දුරකතන පැහැරගෙන ගොස් විවිධ පුද්ගලයන්ට අලෙවි කළ කොල්ලකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (5දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්, අනුරාධපුර හෙද

විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනකු, ඇඟලුම් කම්හල් සේවිකාවක් ඇතුළු තරුණියන් හත්දෙනකු සිදුකළ පැමිණිලි මත මාසයකට ආසන්න කාලයක් කළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරු ගල්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නවීන පන්නයේ යතුරුපැදියකින් පැමිණ දුරකතනයෙන් කතා බස් කරමින් මාර්ගයේ ගමන් කරන තරුණියන්ගේ ගමන්මඟ අහුරා ඔහොමද හලෝ පාරේ යන්නේ කියමින් බැනවැදී එක්වරම ඔවුන් සතු වූ ජංගම දුරකතනය පැහැරගෙන පලාගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.

සැකකරු රුපියල් විසි දහසත් තිස් දහසත් අතරේ වටිනාකමින් යුතු රුපියල් දෙලක්ෂයකට වඩා වැඩි වටිනා ජංගම දුරකතන සොරකම් කර ඇති බවත් මිලදී ගත් යතුරුපැදියේ ලීසිං වාරිකයන් ගෙවා දැමීමට හැකියාවක් නොමැති නිසා යතුරුපැදිය බේරා ගැනීමට කොල්ලකෑම් සිදුකළ බවත් ඔහු පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.
සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විවාහකයකු වන අතර ඔහු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මේ මස 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment