ශ්‍රී පාදය අසල හෝටලයේ වැඩ අත්හිටුවයි (PHOTOS)

ශ්‍රී පාදය අසල හෝටලයේ වැඩ අත්හිටුවයි (PHOTOS)

නල්ලතන්නිය - පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඊයේ (31) එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන් බව එම වතුයායේ වතු අධිකාරී දිෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දිය ඇල්ලට නුදුරු එම වතුයායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලැබී තිබූ බව වතු අධිකාරීවරයා කියාසිටියේය.

ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ විවිධ ජාතීන් නියෝජනය කරන පිරිසක් සිටින බවත් ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී රැඳීසිටීමට නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර 82කින් යුතු මෙම වතුයාය කොටසේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු පැමිණෙන සෑම අවස්ථාවකදීම හෙලිකොප්ටර් යානයකින් පැමිණෙන නිසා එම වතුයායේ ගුවන් පථයක් ද ඉදිකර ඇති බවත් වතුඅධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සමාජ වෙබ් අඩවිවල පළවන පරිදි එය හෝටල් ව්‍යාපෘතියක් නොව නිවාඩු නිකේතනයක් බවටත් එය ඉදිවන්නේ ශ්‍රී පාද රක්ෂිතයේ හෝ ශ්‍රී පාදස්ථානයට ආසන්නයේ නොවන බවටත් වතු අධිකාරීවරයා අවධාරණය කළේය.

මෙම ඉඩම සම්බන්ධයෙන් නල්ලතන්නියේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද පරීක්ෂා කර බලා ඇති අතර එම ඉඩම වනජීවී කලාපයට හෝ වන රක්ෂණ කලාපයට අයත් නොවන බවටත් එහි සිට බලනවිට ශ්‍රී පාදස්ථානය නොපෙනෙන බවටත් වනජීවී නිලධාරීන් විසින් කරුණ අනාවරණය කොටගෙන තිබේ.

ඡායාරූප පහතින්

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment