උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදය නිසා සිසුන්ට අහිමිවන දේ මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදය නිසා සිසුන්ට අහිමිවන දේ මෙන්න

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම තුළ විවිධ විදේශ ශිෂ්‍යත්වවලට අයදුම් කිරීමට ඇති අවකාශ අහිමිවීම ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මේ අතර පළමු වර උසස්පෙළ ප‍්‍රතිඵලවලින් අපේක්ෂිත පාඨමාලා සඳහා සුදුසුකම් නොලැබූ සිසුන්ට වෙනත් පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අදාළව අවසන් දින පසුවීම වැනි ගැටළු ගණනාවක් මතු වී ඇති බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජාතික විභාගයක මෙවැනි තත්වයක් උද්ගතවීම බරපතල ගැටළුවක් වන අතර ප‍්‍රතිඵල ප‍්‍රමාදය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ. 

එකී නිවේදනය පහතින්,

2016 වසරේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම 2017 ජනවාරි 12 ට පෙර සිදු කරන බව විභාග කොමසාරිස්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට ඇත. අදාළ නිවේදනයේ ප‍්‍රතිඵල ප‍්‍රමාදය සඳහා හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ තාක්ෂණ විෂයධාරාවෙන් 30,000 කට වැඩි සිසුන් පිරිසක් විභාගයට පෙනී සිටීම නිසා ප‍්‍රායෝගික පරීක්ෂණ ප‍්‍රමාද වූ බවයි. විභාගයට අයදුම් කිරීමේදී මෙම සිසුන් සංඛ්‍යාව පිළිබඳ අවබෝධයෙන් සැලැස්මක් සකස් කර තිබුණේ නම් මෙවැනි ප‍්‍රමාදයක් ඇති නොවන බව පැහැදිලිය. මෙයින් පැහැදිලි වන්නේ විභාග දෙපාර්ත්තමේන්තුවේ සැලසුම් විරහිත භාවයයි. 

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම තුළ විවිධ විදේශ ශිෂ්‍යත්වවලට අයදුම් කිරීමට ඇති අවකාශ අහිමිවීම මෙන්ම පළමු වර උසස්පෙළ ප‍්‍රතිඵලවලින් අපේක්ෂිත පාඨමාලා සඳහා සුදුසුකම් නොලැබූ සිසුන්ට වෙනත් පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අදාළව අවසන් දින පසුවීම වැනි ගැටළු ගණනාවක් මතු වී ඇත. 

2015 වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු 4 දින සිට සැප්තැම්බර් 08 දක්වා දින 22 ක් පැවති අතර, අගෝස්තු 17 මහ මැතිවරණය වෙනුවෙන් විභාගය දින 10 කට අත්හිටුවන ලදී. එවැනි තත්ත්වයකදීත් 2016 ජනවාරි 02 දින ප‍්‍රතිඵල ලබාදුන් අතර, තාක්ෂණික විෂයධාරාවේ ප‍්‍රථම උසස් පෙළ කණ්ඩායම ද එම වසරේ විභාගයට පෙනී සිටියහ.

2014 වසරේ උසස් පෙළ ප‍්‍රතිඵල එම වසරේ දෙසැම්බර් 27 දින ලබාදුන් අතර වාර්ෂිකව ප‍්‍රතිඵල ප‍්‍රමාදවීමක් දිගින් දිගටම දක්නට ලැබේ. මේ නිසා විභාගයට පෙනී සිටි සිසුන් දැඩි පීඩනයකට ලක්වී ඇත. ජාතික විභාගයක මෙවැනි තත්වයක් උද්ගතවීම බරපතල ගැටළුවක් වන අතර, ප‍්‍රතිඵල ප‍්‍රමාදය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇත. එසේම උස්පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කරන ලෙස ද ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment