ඒකාබද්ධයේ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්

ඒකාබද්ධයේ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්

ඒකාබද්ධ විපක්ෂය විසින් රටම නොව ලෝකයම හොල්මන් කරන  ලෝකයම හොල්ලන්නට හැකි දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බවත් හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ උදය ගම්මන්පිල මහතා මෙසේද සඳහන් කළේය.

“මා මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ එජාපය දිනවන්න ලු.  ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් අගමැතිත් ශ්‍රිලනිපයෙන් ජනපතිත් ඉදිරිපත් වෙන බව පේන්නේ.  ජනපති මේ ආණ්ඩුවේ ප්‍රධානියා.  අගමැති දෙවනියා.  මේ ආණ්ඩුව රටට කරන විනාශයට මේ දෙන්නාම එක වගේම වග කියන්න ඕනෑ.  විධායක බලය තිබෙන ජනපති වැඩිපුර වග කියන්න ඕනෑ කිසි බලයක් නැති අගමැතිට වඩා. මේ ආණ්ඩුවේ වැඩසටහන හොඳයි කියලා තවමත් හිතන සුළු පිරිස වෙනුවෙන් තමයි මේ දෙන්නාම ජනපතිවරණයට එන්නේ.  එතකොට මේ ආණ්ඩුව රට විනාශ කරනවා කියලා හිතන බහුතර ජනතාව වෙනුවෙන් අපේක්ෂකයෙකු කෝ?  අන්න එයා තමයි අපි ඉදිරිපත් කරන්නේ.  අශ්වයාට කලින් කරත්තය යන සිරිතක් නෑ.  2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා.  හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි.  අපි රටම නොවේ ලොවම හොල්මන් වෙන ලොවම හොල්ලන්න පුළුවන් දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරනවා.“

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ 2020 ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.

එම පොදු අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද යන්න එහිදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ වේලාවට එම පොදු අපේක්ෂකයා ගැන හෙළි කරන බවත් ජනතාව පුදුම වන ආකාරයේ පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා ලෙස නම් කරන බවත්ය.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ක්‍රියාකාරී දේශපාලනයට එක්කර ගැනීමට එම පක්ෂයට සම්බන්ධ මැති ඇමැතිවරු පිරිසක් උත්සාහයක යෙදෙමින් සිටින බවයි.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම කොළඹ ස්ථාන දෙකකදී පසුගිය දිනවල සිදුකර ඇතැයි වාර්තා වේ. මීළඟ මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කළයුතු බවටද මෙහිදී සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඉදිරිපත් වී ඇති මෙම යෝජනාව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමටද ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් පිරිසකට පවරා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විටත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‘වියත් මග’ නමින් විද්වත් සංවාද මණ්ඩපයක් ආරම්භ කර තිබේ.

රටේ සංවේදී ප‍්‍රශ්න ගැන මෙහිදී සාකච්චා කෙරෙනු ඇති අතර ඊට ඒ ඒ ප‍්‍රදේශවල ආගමික නායකයින්, විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයින් පමණක් සහභාගී කර ගැනෙනු ඇති අතර කිසිදු දේශපාලඥයෙකුට ඇරයුම් නොකිරීමටද තීරණය කර තිබීම විශේෂ්‍යත්වයකි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment