එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්

එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්

හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තබන අවස්ථාවේදී ඊට විරෝධය දැක්වීමට පැමිණියේ ශ්‍රමණ වේශධාරීන් බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ පැවැසූහ.

එම ප්‍රකාශය පදනම් කරගනිමින් නලින් බණ්ඩාර මහතාට එරෙහිව සංඝාඥාවක් නිකුත් කරන බව ද ඒ හිමියෝ අවධාරණය කළහ. 

උන්වහන්සේ ඒ අනාවරණ කළේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු සංවිධානය විසින් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

සංඝයා වහන්සේ එදින එම ස්ථානයට වැඩම කළේ පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් නොවන බවත් මාතෘ භූමියෙන් කොටසක් චීනයට පවරාදීමට එරෙහිව අහිංසක විරෝධයක් දැක්වීමට බවත් කීහ. 

එම අවස්ථාවේදී රජයේ මෙහෙයවීමෙන් පැමිණි මැරයන් විසින් භික්ෂුන් වහන්සේට පහරදී ශාසනද්‍රෝහී ක්‍රියාවක් සිදුකළ බවත් එම ප්‍රහාරය පිළිබඳව පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා එහි පැමිණියේ භික්ෂුන් වහන්සේ නොව ශ්‍රමණ වේශධාරීන් බවට කළ ද්වේශ සහගත ප්‍රකාශය කුරුණෑගල දිසාවේ සියලු භික්ෂුන් වහන්සේ විසින් දේශපාලන භේදයකින් හෝ නිකාය භේදයකින් තොරව හෙළාදකින බවත් උන්වහන්සේ පැවැසූහ.

එම ස්ථානයට පැමිණ සිටියේ මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සහ විහාරාධිපතින් වහන්සේ ඇතුළු දිවයිනේ චිරප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ බවත් උන්වහන්සේ ශ්‍රමණ වේශධාරීන් බව කියන්නේ කෙසේ දැයි ජිනරත්න හිමියෝ නලින් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළහ.

මෙවැනි වාචාල කතා කියන මන්ත්‍රිවරුන් වයඹින් බිහිවීම ගැන තමන් කනගාටු වන බවත් හොරට සිවුරු පොරවා මැරයන් භික්ෂුන් වහන්සේ ලෙස යෙදවීමේ ව්‍යාපාරයක නලින් බණ්ඩාර මහතා යෙදී සිටින්නේදැයි ඔහුගේ ප්‍රකාශ අනුව තමන් වහන්සේට සාධාරණ සැකයක් මතු වන බවද උන්වහන්සේ කියා සිටියහ.

එබැවින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ආගම්ද්‍රෝහී සහ ශාසන විරෝධී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ ලෙස නලින් බණ්ඩාර මහතාට විරුද්ධව සංඝාඥාවක් නිකුත් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment