බැඳුම්කර විවාදය නතර කිරීමේ උත්සාහයක්?

බැඳුම්කර විවාදය නතර කිරීමේ උත්සාහයක්?

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද(24) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව කල් තැබීමේ විවාදයක් ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව විවාදයට ගැනීමට නියමිත තිබේ.

අද පෙරවරු 9.30 යේ සිට දවස පුරා අදාළ වාර්තාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද පැවැත්වීමට නියමිත විවාදය කල් තැබීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කළේය.

ඊයේ (23) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසූදේව නානායක්කාර මහතා සඳහන් කළේ මෙම විවාදය පැවැත්වීම නතර කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටින බව ය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පැමිණිල්ලක් ගොණු කර ඇති නමුත් එහි ඇත්ත පෙත්සම්කරු රනිල් වික‍්‍රමසිංහ මහතා වන බවත් මේ තුළින් පාර්ලිමේන්තුවට අධිකරණය හරහා අභියෝග කළ හැකි වී ඇති නිසා හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාද නතර කිරීමට මෙය හේතු විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විවාදය නතර කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරුවේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර එහිදී අද දිනයේ පැවැත්වෙන විවාදය පිළිබදව අවසන් තීරණයකට එළඹෙනු ඇත.

කෙසේ වෙතත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ කෝප් වාර්තාවට අදාළව අද (24) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය අවලංගු වනු ඇතැයි පක්‍ෂ විපක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සඳහන් කර තිබේ.

මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ බැඳුම්කර ගනුදෙනුව පිරික්‌සූ කෝප් වාර්තාව අභියෝගයට ලක්‌ කරමින් තිනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්‌ ගොනු කිරීමයි.

සාමාන්‍යයෙන් අධිකරණ කටයුත්තක්‌ පැවතියදී ඊට අදාළව පාර්ලිමේන්තුවේ විවාද කිරීම ස්‌ථාවර නියෝග මගින් අත්හිටුවා තිබේ. 

මේ නිසා අද පැවැත්වීමට නියමිත බැඳුම්කර විවාදය බොහෝ දුරට නොපැවැත්වෙනු ඇතැයිද එම මන්ත්‍රීවරු පවසති.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරික්‍ෂණ පැවැත්වූ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පසුගිය ඔක්‌තෝබර් 28 වැනිදා සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පක්‍ෂ නායකයන්ගේ එකඟතාවය මත එම වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වීම අදට (24) නියම කෙරිණි. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌වී මන්ත්‍රිවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළව ඇමැතිවරුන් උත්තර දීමෙන් පසුව සභාව කල් තැබීමත් ඉන්පසු කල් තැබීමේ විවාදය ලෙස බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව විවාද කිරීමටත් නියමිතය.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කල්තැබීමේ විවාදයට අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. න්‍යාය පත්‍රයට අනුව විවාදය අවසන් වන්නේ රාත්‍රි 7.30 ටය.

කෙසේ වෙතත් නඩු කටයුත්තක්‌ නිසා බැඳුම්කර ගනුදෙනුවට අදාළ විවාදය පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනුයේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් අනතුරුවය.

නඩු කටයුත්තක්‌ නිසා විවාදය කල් තැබිය යුතු බව මේ වන විටත් ආණ්‌ඩු පාර්ශ්වයෙන් ඉල්ලීම් ලැබී ඇති අතර විපක්‍ෂය පවසන්නේ විවාදය පැවැත්විය යුතු බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment