ලංකාවේ වෛද්‍යවරු ජීවත්වීමේ අරගලයක

ලංකාවේ වෛද්‍යවරු ජීවත්වීමේ අරගලයක

වෛද්‍යවරුන් 'ජීවත්වීමේ අරගලයක' යෙදී සිටින බැවින් ඔවුන්ට පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතවන්නට සිදුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සමඟ කළ සංවාදයකට එක්වෙමින් ඒ බව කියා සිටියේ, වෛද්‍යවරුන්ගේ දෙවැනි රැකියාවෙන් උපයන මුදලට 20%ක බද්දක් අයකර ගැනීම සඳහා රජය තීරණයකර ඇති බව පවසමිනි.

"රජයෙන් හරි වැටුපක් ගෙවනවනම් අපිට වෙන රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වැටුප ගෙවන්නේ නැති නිසා ජීවත්වීම කියන අරගලයේ යෙදිල ඉන්න අපි දෙවෙනි රස්සාවක් වශයෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදිල යම් ආදායමක් ලබා ගන්නවා අපේ ජීවත්වීම සඳහා." යනුවෙන් වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේය.

ලෝකයේ දියුණු රටවල පවා වෛද්‍යවරුන් රට තුළ රඳවාගැනීම සඳහා විශාල වැටුප් ගෙවන නමුත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ගෙවන වැටුප ඉතා පහළ මට්ටමේ පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

"පෞද්ගලික වෛද්‍ය සේවයේ අපි නිරත වෙන්නේ අපිට ලැබෙන ආදායම ජීවත් වීම සඳහා මදි නිසා. නැත්නම් වෛද්‍යවරුත් කැමතියි හවසට ගෙදර ගිහින් දරුවොත් එක්ක විවේකීව ගතකරන්න." යනුවෙන් ඔහු පැවසීය.

තමන් උපයන ප්‍රමාණයට අනුව බදු ගෙවීම ලෝක සම්මතයවී තිබියදී වෛද්‍යවරුන් පමණක් ඊට එරෙහිවන්නේ මන්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ දෙවැනි රැකියාවක් ලෙස වෙන්කොට 20%ක බද්දක් අය කිරීම අසාධාරණ බවයි.

වෛද්‍යවරුන්ගේ මුළු ආදායමට සාමාන්‍ය බදු ප්‍රතිශතය අයකර ගැනීමක් සිදුවන්නේ නම් ඊට එරෙහි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජය අත්තනෝමතික ලෙස කටයුතු කළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට සිදුවනු ඇති බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අනතුරු ඇඟවීමක් කළේය.

- බීබීසි සංදේශය -

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment