උමා ඔය අනාථයින්ට මිලියන 409ක් වෙන්කළත් තවමත් එකම කූඩාරමක්වත් නෑ !

උමා ඔය අනාථයින්ට මිලියන 409ක් වෙන්කළත් තවමත් එකම කූඩාරමක්වත් නෑ !

 


අනුෂ පැල්පිට, රණවක, දමයන්ති ජයරත්න වැනි අන්ත දුෂිතයින් රකින්නට පෙරට ආ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශය‘ උමා ඔය අනාථයින් පණ පිටින් ගිළී මිය යන තෙක් බදුල්ල පරිපාලන අවුල දිග්ගස්සමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‘ජනාධිපති ‘මෛත්‍රීපාල සිරිසේන මහතා‘උමා ඔය හර්තාලයට පසු දා තමන් උමා ඔය විපතට පත් ජනතාව සමග යැයි කීවේය.  ජනාධිපතිවරයාගේම කැබිනට් පත්‍රිකාවකින් රු. මිලියන 300 ක් හා තවත් රු. මිලියන 109 ක් ලෙස අවස්ථා දෙකක දී රු. මිලියන 409 ක් උමා ඔය සහන සදහා බදුල්ලට යොමු කර ඇත.  එසේ නමුත්, උමා ඔය විපතට පත් ජනතාවට ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අමාත්‍යාංශය හෝ මධ්‍ය රජය,


·         එකම කුඩාරමක්
·         එකම තාවකාලික නිවසක්
·         එකම විකල්ප මාර්ගයක් (එක් කි.මි. හෝ නැත)
·         වැඩි කල නිවාස කුළී ගෙවීමක්
·         ඉඩම් හෝ නිවාස ලබාදීමක්
·         එකම නළ ළිදක් හෝ ඉදි කිරීමක්
·         ජූනි 29 හර්තාලයෙන් පසුව එක රුපියලක් ‘වගා සහන‘ ගෙවීමක්
·         දෙමෝදර හා මකුල් ඇල්ල ජල ව්‍යාපෘතිය විවෘත කිරිම
·         ‘සුදු අම්මා‘ ඇතුලු පළමු අනාථයින් 18 දෙනාට සහන සැලසීම  
·         ණය කපා දැමීමේ අයදුම්පත් 6000 කට එකම සහනයක් හෝ ලබාදීමට කටයුතු කර නැත.

බදුල්ල දිසාපතිවරයා වෙත ලබා දී තිබු රු. මිලියන 300 න් අද වන විට ඉතිරිව ඇත්තේ රු. මිලියන 10.5 ක් බව ඔහු පවසයි.  උමා ඔය සහන ක්‍රියාවලියේ වැඩි පිරිවැයක් දරා ඇත්තෙ ඩීසල් සැපයීම, වාහන කුලී ගෙවීම, අතිකාල හා ටැංකි මිල දී ගැනීම සදහා ය. රතු සිතියමේ මැද නිවාස සදහා රු. 5000 සිට ලක්ෂයට අඩු වන්දි ලබා දෙමින් ද, වැස්සට පෙර ඉවත්වීම සුදුසු යැයි කට වචනයෙන් කියයි.

ජනතාව සහන සැලසීමේ කිසිදු එලදායී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන බදුල්ල දිසාපතිවරයා ‘අනාථයින් පණ පිටින් ගීලි යන තෙක් ‘ජනාධිපතිවරයා හා මහවැලි අමාත්‍යාංශය ට ව්‍යාජ ප්‍ර‍ගති වාර්තා ඉදිරිපත් කරමින් සිටී.

 දේශපාලනඥයින් ගේ පොරොන්දු හා ප්‍ර‍කාශ

මහින්ද අමරවීර, විජිතමුණි සොයිසා, චාමර සම්පත්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක යන මැති ඇමතිවරු උමා ඔය සහන ලෙස නළ ළිං ඉදිකිරීම, වගා සහන, නිවාස වන්දි, කෝච්චියෙන් වතුර, පානීය ජල ව්‍යාපෘති, තාවකාලික නිවාස, ණය කපා හැරීම්, ක්‍රේග් හා කීනලන්ඩ් වතු ඉඩම්, තාවකාලික පෙර සවි නිවාස ගැන මාස 2 ක් අඛණ්ඩව මාධ්‍ය ප්‍ර‍කාශ සිදු කරයි.  නමුත් සීමිත පිරිසකට නිවාස වන්දි ගෙවීම හැර වෙනත් කිසිදු සහනයක් මේ දක්වා ඉටුවී නැත.  ඒ වෙනුවට ඉදිකිරීම් ඇරඹි නළ ළිං මගින් නොමිලේ ජලය ලබාදීමේ ව්‍යාපෘතිය නවතා දමා වතුර ටැංකි බෙදා, බවුසර් මගින් ජලය බෙදා හැරීම දැවැන්ත ජාවාරමක් බවට පත් කොට ගෙන ඇත.  වැඩ අවසන්වී ඇති ජල ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම අත පසු කොට ඇත්තේ බවුසර් ජාවාරම පවත්වාගැනීමටය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ‘ඉවත් කිරීමේ නිවේදනය‘ නමින් මරණ දැන්වීම් 160 කට වැඩි ප්‍ර‍මාණයක් නිවාස බිත්තිවල අලවා තිබේ. තවත් නිවාස හිමිකරුවන් 240 කට වැඩි පිරිසකට වැසි ආරම්භ වන විට වහා ඉවත්වීම සුදුසු යැයි වාචිකව දැනුම් දී ඇත.   නමුත්, මේ ජනතාවට තාවකාලික පදිංචියට කිසිදු ස්ථානයක් මේ දක්වා ලබා දී නැත. එකම අයෙකුට හෝ රු. 25,000 ක රජයේ තක්සේරුකරු අනුමත කළ නිවාස කුලිය මේ දක්වා ගෙවා නැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ‘‘2017 ජූලි 27 දින ජනාධිපති ලේකම් හා මහවැලි ලේකම්වරුන් වෙත මෙසේ ලියා දැන්වූ බවයි. 

උපුටා ගැනීම //බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතා දියවැඩියාව හේතුවෙන් දැඩි පීඩාවක සිටී. එයින් දැඩි පීඩාවට පත්ව අපහසුවෙන් කාර්යාලයේ රැදෙන බව ද ඔහුගේ සේවකයින් ගෙන් දැනගතිමි. තවත් අතෙකින් ඔහු පුතා ගේ ඉගෙනුමට වියදම් කොට ආර්ථික අපහසුතාවයෙන් පෙළේ. කාර්යක්ෂමතාව, මැදිහත්වීම අවම වීමට මෙය හේතුවී ඇතැයි සිතමි.මේ අභියෝගයට මුහුණ දිය හැකි අයෙකු බදුල්ලට පත් කර යැවීමට කාරුණිකව මැදිහත්වන්න. එය රෝහණ දිසානායක, සුනිල් කන්නංගර, බන්දුල හරිස්චන්ද්‍ර‍, රවීන්ද්‍ර‍ (ගාල්ල හිටපු දිසාපතිතුමා) සේවා දිගුවක් ලබා ඇති ඩී.පී.ජී.කුමාරසිරි මහතා හෝ වෙනත් අයෙකු විය හැකිය. නැතිනම්, බණ්ඩාරවෙල නැවතී මේ ව්‍යසනය කළමනාකරණය කළ හැකි අතිරේක දිසාපතිවරයෙකු යොමු කොට ඔහුට ක්‍ර‍මිකව මාස දෙක තුනකින් වැඩ බාරදීමට කටයුතු කිරීම ද දිගු කාලීන එලදායී ප්‍රවේශයක් වනු ඇත.// උපුටා ගැනීම අවසන්.

දිනකට පසු, ජූලි 28 දින බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා බදුල්ල වැඩබලන අතිරේක දිසාපති ලෙස පත් කරනු ලැබීය. බදුල්ල දිසාපති නිමල් අබේසිරි ඔහුට තර්ජනය කොට වැඩ බාර ගැනීම වලක්වනු ලැබීය. කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් මේ පිළිබද ලිපි 34 ක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍ර‍ධානීන් වන වජිර අබේවර්ධන, ස්වදේශ ලේකම් නීල් ද අල්විස්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු, අගමැති ලේකම් සමන් ඒකනායක, මහවැලි ලේකම් අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක වෙත යොමු කර ඇත. පිළිතුරු නැත!

ජනාධිපතිවරයා, කැබිනට් අනුකමිටුවේ මහින්ද අමරවීර, විජිතමුණි සොයිසා, චම්පික රණවක යන අමාත්‍යවරුන් වෙත යොමු කර ඇත.  ‘බෝධී පුජා සංවිධානය කිරීම, පිරිත් කීම හෝ ගංවතුර අනාථයින්ට ජනතාවගේ ආධාර ‘ස්වදේශ කටයුතු‘ ලේබලය ගසා බෙදීමට දක්වන උනන්දුව හෝ අමාත්‍ය වජිර අබේවර්ධන හා ලේකම් නීල් ද අල්විස් බදුල්ලේ පරිපාලන අවුල කෙරෙහි දක්වා නැත.     ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඇවන්ගාඩ් නඩුවේ ප්‍ර‍ධානම සාක්ෂිකාරිය ‘දමයන්ති ජයරත්න රටින් පිට කරන්නට‘ සෘජුව මැදිහත් විය. වැඩ තහනමට ලක්වී සිටි අනුෂ පැල්පිට, රණවක අතිරේක ලේකම් තනතුරු දෙන්නට, සිල් රෙදි හා පයිප්ප බට හොරකම රකින්නට, සෘජුව මැදිහත්විය.  දැන්, කැබිනට් තිරණ ක්‍රියාත්කම කිරීම සදහා ලබා දුන් රු. මිලියන 300 කින් කැබිනට් තීරණ 5 ක් ක්‍රියාත්මක නොකළ බදුල්ල දිසාපතිවරයාගේ ආරක්ෂකයාගේ භුමිකාව රග දක්වමින් සිටී. 

අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට 40 වසරක් පිරීම වෙනුවෙන් බෝධි පුජා සංවිධානය කළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එහි ප්‍ර‍ගතිය දිසාපති/ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගෙන්ම ලබාගෙන එය රටේ ‘නිල නොවන විපක්ෂ නායකයාට‘ යොමු කළේය.  එවැනි ධෛර්යක්, උනන්දුවක්, හෝ කැපවීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ‘රතු සිතියමේ බණ්ඩාරවෙල ජනතාව ගැන‘ නැත!

ස්වදේශ කටයුතු ලේකම් වෙත අප අවධාරණය කරනු ලැබූවේ //2013 දී පොළොන්නරුව දිසාපතිවරයා ලෙස නිමල් අබේසිරි,  වාරිමාර්ග ඉංජිනේරුවන් විසින් ලබා දුන් උපදෙස් නොතකා කටයුතු කිරීම ඇති වූ අවසනාවන්ත තත්වය වැනි දැවැන්ත ගැටුමක් බදුල්ලේ නිර්මාණයවීම වැලැක්වීමට කටයුතු කරන ලෙසයි.//

ශිෂ්ඨ රටක් මී කතුරක ඇටවූ ‘චීස් කැබැල්ලක් ලෙස‘ මිනිසුන් භාවිත කරන්නේ නැත!  බදුල්ල දිසාපති හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උමා ඔය අනාථයින් ‘දේශපාලන ගොදුරක් සදහා චීස් කැබැල්ලකි.   

දිසාපතිගේ උද්දච්ඡ ක්‍රියා පිළිවෙත නිසා බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගි නොවේ. නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂමන් සෙනෙවිරත්න හා ඩිලාන් පෙරේරා ‘යහපාලනය‘ යටතේ  සහභාගිවී ඇත්තේ එක් වරක් බැගිනි.  හරීන් ප්‍ර‍නාන්දු හා රවී සමරවීර අමාත්‍යවරුන් ගොස් ඇත්තේ දෙවරකි. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හැර බදුල්ලේ වෙනත් කිසිදු දේශපාලනඥයෙකු උමා ඔය අර්බුදයට දැන් ක්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ නැත.

ශ්‍රී ලංකා පරිපාලන සේවය පැත්තෙන් අවසනාවන්තම කරුණ නම්, දක්ෂ අවංක පරිපාලන නිලධාරීන්ට උමා ඔය විපතට පත් ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීමට මුදල් හෝ වෙනත් සම්පත් නිදහස් නොකිරීමයි.  ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරීන්, ග්‍රාම නිලධාරිවරුන් ඇතුළු කේෂ්ත්‍ර‍ නිලධාරීන්ගේ වෙහෙස, කැපවීම කලකිරීමක් බවට පත් කොට ඔවුන් ජනතාවගේ කෝපයට, වෛරයට, අපහාසයට, උපහාසයට නිරුවත් කිරීමට බදුල්ල දිසාපතිවරයාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය හේතු වී ඇත.  අවම වශයෙන්  ග්‍රාම නිලධාරිට උමා ඔය සහන ක්‍රියාවලියට සහභාගිවීම සදහා කැබිනට් තීරණයක් අනුව නිර්දේශ කළ රු. 1500 දීමනාව ගෙවීම දිසාපතිවරයා ප්‍ර‍තිකේෂප කොට ඇත! 

උමා ඔය සහන අර්බුදය ශිෂ්ඨත්වයේ සීමාවන් පසුකර මිලේච්ඡත්වයේ දොරකඩට පැමිණ ඇත.  දැවැන්ත පරිපාලන අවුලක් නිර්මාණය කර ඇත.

මේ මිනිසුන්ට අනතුරක් සිදුවන්නේ නම්, එය ‘සැලසුම් සහගත මිනී මැරුමක්, දේපල හානියක් මිස‘ තවදුරටත් ස්වභාවික ආපදාවක් වන්නේ නැත.   

තවත් සති දෙකකින්, ඊසාන දිග මෝසම් වැසි ඇරඹෙන විට, හමුදාව යොදවා ජනතාව ඉවත් කිරීම සිදුවනු ඇත. දික්අරාව, වලස්බැද්ද, කිණිගම හා අවට ජනතාව යොවුන් සේනාංකයට, විද්‍යා පිඨයට ගාල් කිරීම නිෂ්චිතය.  බණ්ඩාරවෙල මිනිසුන් කොටසක් ‘පණ පිටින් වැළලී ගිය පසු‘ ඉතිරිවන මිනිසුන්ට සමග ගණුදෙනු කිරීම ‘ආපදා කලමණාකරණයක් වන්නේ නැත.

කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලය වෙත යොමු කර තිබූ ලිපියක මෙසේ දැක්වේ. ‘ගිජුලිහිණියන් ගොදුර සොයා පියඹන විට සුරදූතියන් ගී ගයති.   වාරිමාර්ග නිලධාරීන් සමග ආරවුලක් ඇති කොට ගෙන එහි ගොවීන් අපමණ පීඩාවට පත් කළ, පොළොන්නරුවේ විශ්‍රාමික ගිජුලිහිණියාට සේවා දිගුවක් සමග බදුල්ල දඩ බිමක් ලෙස බාර දී ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයි. ‘‘ 

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
2017 සැප්තැම්බර් 3

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment