මියැන්මාර ජනගහනයෙන් 90%කට ආසන්න සංඛ්‍යාවක් බෞද්ධාගමිකයන් ය.
දකුණු ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ඉල්ලීමක් කළේ මියැන්මාරයට ‘බුදුන් දෙසූ මග යන ලෙස’ යි. “ඔවුන් මතක තබාගත යුතුයි මෙවැනි අවස්ථාවලදී බුදුන් වහන්සේ සිටියා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අසරණ (රොහින්ගියා) මුස්ලිම්වරුන්ට සරණ වෙනවා. ඒ නිසා මේ තත්වය අතිශයින්ම, අතිශයින්ම කණගාටුදායකයි. රොහින්ගියා හිංසනය නතර කළ යුත්තේ මියැන්මාර බෞද්ධයන්” යනුවෙන් එහිදී උන්වහන්සේ පැවසූහ.
මියැන්මාර රොහින්ගියානුවන් මේ වන විට සැලකෙන්නේ ලෝකයේ වඩාත්ම හිංසාකාරී සැලකීමට පාත්‍රවූ ජනතාවක් වශයෙනි. පරම්පරා ගණනාවක් එරට ජීවත් වුවද ඔවුන්ට පුරවැසි භාවය ලබා නොදෙයි. මේ අනුව මියැන්මාර නීති සාධකයන් විසින්ම ඔවුන් ‘රටක් නැති ජනතාවක්’ බවට පත් කර තිබේ.
මියැන්මාරයේ ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස සිය හඬ නංවන නවතම අන්තර්ජාතික නායකයා බවට මේ අනුව දලයි ලාමා වහන්සේ පත්වෙයි.
පසුගිය සිකුරාදා අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ” සිය නිල ට්විටර් ගිණුම හරහා මියැන්මාර නායිකා අවුන් සාන් සුකී වෙත විවෘත ලිපියක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ “ඔබේ රටේ මුස්ලිම් සුළුතරය වන රොහින්ගියානුවන්ගේ ඉරණම පිළිබඳ ගැඹුරු සංවේගයෙන් යුතුව මම මහජන ගැටළු පිළිබඳ කතා නොකිරීමේ මගේ නිහඬතා ප්‍රතිපත්තිය බිඳ දමමි”යනුවෙනි. රොහින්ගියානුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ව්‍යාපාරය ‘මන්දගාමී සංහාරයක්’ බව ද ඩෙස්මන්ඩ් ටුටූ පවසයි.
පසුගිය සතියේ නොබෙල් සම්මානලාභී මලාලා යුසුෆ් මේ ගැටලුව සම්බන්ධයෙන් ට්විටර් ගිණුම හරහා සිය හඬ අවදි කර තිබුණේ “ලෝකයම ඔබ දෙස බලා සිටියි” යනුවෙනි.
අවුන් සාන් සුකී හට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ආපසු ගත යුතු බවට ද මේ වන විට ජාත්‍යන්තරයෙන් දැඩි හඬක් නැගෙමින් තිබේ.
කෙසේ නමුත් මේ සියලු ජාත්‍යන්තර පීඩනයන් හමුවේ මියැන්මාරයේ ඩී ෆැක්ටෝ ස්ටේට් කවුන්සලර්වරිය හෙවත් නායිකාව වන අවුන් සාන් සුකී තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? එය වෙනම විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment