ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාවට ඉහළින් දරුවෙක් එබී බලයි. ඔහු තාප්පය කඩා දමාවිද?

ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාවට ඉහළින් දරුවෙක් එබී බලයි. ඔහු තාප්පය කඩා දමාවිද?

මේ යෝධ දරුවා බලමින් සිටින්නේ ඇමරිකාව දෙස ය. එනම් ඔහු සිටින්නේ මෙක්සිකෝව පැත්තේය. මේ නිර්මාණයේ තිබෙන විශේෂම ලක්ෂණය වන්නේ දරුවාගේ ඉරියව්වයි. එහි අතැඟිලි දේශසීමා තාප්පය මත තබාගන්නට උත්සාහ කරන ආකාරයෙන් ඔහු ඉඟිකර සිටින්නේ මේ තාප්පය ඕනෑම මොහොතක තමන්ට කඩා දමන්නට හැකි බවද?

 මේ වන විට ඇමරිකානුවන් මේ රූපය හසුවන සේ ඡායාරූප ගැනීම නිසා ටෙකේට් දේශසීමාව ලෙස හඳුන්වන මේ ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වී තිබෙන අතර, මෙක්සිකානුවෝ ද වළ ගොඩැලි සහිත එම ස්ථානයට පැමිණ සෙල්ෆි ගැසීම ආරම්භ කර තිබේ.

JR  යන අකුරු දෙකෙන් පමණක් තමන්ව හඳුන්වාගන්නා මෙම තරුණ නිර්මාණකරුවා ලොව පුරා මෙවැනි නිර්මාණ බිහිකර ඇත. පැරිසිය, රියෝ ද ජෙනෙයිරෝ, පලස්තීනය වැනි ස්ථානවල ඔහු මෙවැනි දේශපාලනික අර්ථයන්ගෙන් යුත් ආන්දෝලනාත්මක සහ නිර්මාණාත්මක කලාකෘති ඉදිකර ඇත. මෑතකදී පටන් ඔහු සංක්‍රමණික ගැටලුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි. දිනක් උදෑසන නින්දෙන් අවදි වන විට තමන්ට මෙවැනි නිර්මාණයක් පිළිබඳ අදහසක් එකවරම සිතට නැගුණු බව ඔහු කියයි. පසුව මෙක්සිකෝවේ වසන සිය මිතුරෙක් හමුවන්නට ගිය JR, ඔහු සමග ගොස්, එවැනි නිර්මාණයක් සවිකරන්නට සුදුසු තැනක් තිබේදැයි දේශසීමා තාප්පය අවට ප්‍රදේශයෙන් සොයාබලා ඇත. එවිට ඔහු දැකඇත්තේ කටවුට් එකක් සවිකිරීමට ප්‍රමාණවත් උසකින් තිබෙන අඩක් වැඩ නිම කර ඇති නිවසකි. ඒ නිවසට ගොස් ගෙහිමි කාන්තාව සමග කතාබස් කරන විට ඇගේ සුරතල් පිරිමි දරුවා ඔහුගේ ඇස ගැටී ඇත. “ඔහුව තමයි මම හොය හොයා හිටියෙ..” යැයි ජේආර් කියයි. අවසානයේ කළු සුදු දැවැන්ත ඡායාරූපයක කටවුට් එකක් ලෙසින් මේ යෝධ පුවරුවේ දිස්වන්නේ එම දරුවාගේ රුවයි. 

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවේ සිදුකළ එක් ජනප්‍රියම කතාවක් වූයේ තමන් නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීම පිණිස ඇමරිකානු මෙක්සිකෝ දේශසීමාවේ අලුත් කොන්ක්‍රීට් තාප්පයක් ඉදිකර, දෙරට එකිනෙකට නොපෙනෙන සේ වසා දමන බව ය. ඇමරිකා එක්සත් ජනපදය තුළ නීති විරෝධී ලෙස ගෙන එන දරුවන් රටෙන් පිටුවහල් නොකර ඇමරිකානුවන් ලෙස තබාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන Deferred Action for Childhood Arrivals program - DACA යනුවෙන් හැඳින්වේ. කෙසේ නමුත් ට්‍රම්ප් මෙම නිර්මාණය දේශසීමා තාප්පයෙන් එසවුණු සතියේම කියා තිබුණේ ඉදිරියේදී එම වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර කර දමන බව ය. තවද දැනට සැතපුම් 650 ක් දුරට ඉදිවී තිබෙන මෙක්සිකානු -ඇමරිකානු දේශසීමා තාප්පය, සැතපුම් 2000 ක් දුරට සම්පූර්ණයෙන්ම ඉදිකරන බව ද ඔහු කියා තිබේ. 

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment