එහෙත් හක්කේ බුදුරැස් තබාගෙන බොක්කෙන් දඩමස් අමුවෙන්ම ගිල දමන යම් යම් පිරිස් හිරිකිතයක් නැතුවම මානව හිමිකම් උල්ලංඝණය කිරීම නිසා නීති රීති රෙගුලාසි පැනවීම මගින් හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය වැටකඩොළු බැදීමට සිදුවී ඇත. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති, ගිවිසුම්, ආධාර හා වෙනත් උපායමාර්ගික සම්බන්ධතා නිසා ශ්‍රී ලංකාවට මානව හිමිකම් ආරක්ෂා කරන රටක් බවට පත්වීමට ජාත්‍යන්තර වශයෙන් සිදුවී තිබේ. මේනිසා ලෝකයේ සෑම රටක්ම පාහේ දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද තමන්ගේ මානව හිමිකම් ප්‍රතිපත්තිය සකස් කරමින් රටක් ලෙස මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට තමන්ට ඇති සංවේදීභාවය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ පැවැති රජය වට්ටවමින් 2015 විප්ලවය සිදුවන්නේ පසුගිය රජය විසින් සිදුකළා යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් අපගේ රජයක් මගින් නම් සිදුවන්නේ නැතැයි යන පාරම්බෑම ලක්ෂ හැටදෙකක මිනිසුන් විශ්වාස කළ නිසාය.
ස්වාධීන කොමිසන් සභාවන් පිහිටුවමින්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් යම් යම් ප්‍රතිපත්තීන්වලට එළඹෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධන සිදුකරමින් වත්මන් රජය මිනිසුන් විසින් ඉල්ලා සිටි වෙනස ඉටුකිරීමට සූදානම්වන ආකාරයේ ඉඟි පළකරමින් තිබුණි. විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වත්මන් රජය යම් දෙයක් කරාවි’ ය යන විශ්වාසය ජනතාව අතර තිබුණි. වත්මන් රජය පිළිබඳව යම් සාධණීය බලාපොරොත්තුවක් තැබූ කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව හෙවත් එල්.ජී. බී.ටී ප්‍රජාව ප්‍රධාන වන්නේ ලක්ෂ හැටදෙකක ජනතා බලාපොරොත්තු අතර වඩාත් දැවෙන බලාපොරොත්තු තිබුණේ ඔවුන් සමග වන නිසාය. විවිධ අන්තවාදී කල්ලි විසින් කරන ලද උසිගැන්වීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය රජය සමයේ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව දඩයම් කිරීමේ පොලිස් මෙහෙයුමක් පැවති බව රටම දන්නා කරුණකි. එහිදී 2013 වර්ෂය සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට අතිශයින්ම භයානක කාලසීමාවක් වූ අතර කිසියම්ම හෝ අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමෙන් මෙම ප්‍රජාව දඩයම් කිරීම, අත් අඩංගුවට ගැනීම, අල්ලස් ලබාගැනීම මෙන්ම ශාරීරක හා මානසිකව විවිධාකාරයෙන් හිංසාවට පත්කිරීමේ මෙහෙයුමක් පැවතුණි. මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස සමරිසි පුද්ගලයින් හා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සියදිවි හානිකරගත් අතර බොහෝ පිරිසකට රැකියා, පවුලේ රැකවරණය අහිමිවිය.
2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී වර්තමානයේ බලයේ සිටින ආණ්ඩුව ප්‍රකාශ කළේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගනු ලබන බවයි. 2016 වර්ෂයේ ආරම්භයේ සිට ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් සකස්කිරීමේ ක්‍රියාදාමයක් රට පුරා සිදුවූ අතර සකස් කරනු ලබන නව ව්‍යවස්ථාව මගින් එල්.ජී.බී.ටී ප්‍රජාවට එරෙහි හිංසනය හා වෙනස්කොට සැලකීම වැළැක්වෙන ආකරයේ නව වගන්ති එකතුවනු ඇතැයි බලාපොරොත්තු විය. මහජන අදහස් දැක්වීමේ කමිටුව හමුවේ මෙම ප්‍රජාව හා ප්‍රජාව නියෝජනය කරන සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් දැක්වීම් මත එම වාර්තාව මගින් විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත විය යුතුය යන්න අවධාරණය කළේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කම් සිදුනොවිය යුතුය යන්න දැක්වීමෙනි. එමෙන්ම ව්‍යවස්ථාව සකස්කිරිම සම්බන්ව පාර්ලිමේන්තු අනුකාරක කමිටුවට අප විසින් අදහස් දැක්වූ පසුව මූලික අයිතිවාසිකම් සම්බන්ධ අනුකාරක කමිටුවද ඔවුන්ගේ වාර්තාව මගින් ලිංගික දිශානතිය මත පදනම්ව හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස්කම් සිදුනොවිය යුතුයැයි දක්වා තිබුණි.
මෙවැනි පසුබිමක රජය විසින් එක් පසෙකින් ව්‍යවස්ථාව පිළිබඳව බරපතල ලෙස විවේචන හා වාද විවාද සිදුකෙරමින් පවතින අවධියක 2017-2021 පස්වසර සඳහා මානව හිමිකම් ආරක්ෂණය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරී වාර්තාව ඉදිරිපත් කිරීම පැසසිය යුතු කරුණකි. මෙම වාර්තාව මගින් ජනතාවගේ සිවිල්, දේශපාලනමය,සෞඛ්‍යමය කරුණුවලට අදාළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඇතුළත් වී තිබුණූ අතර විශේෂ අව්‍යශතා සහිත වූවන්ගේ හා කාන්තාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහාද ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද නව යෝජනා හා ඇතුළත්වී තිබීමද වැදගත් ලෙස සැලකිය යුතුය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස්කම් සිදුනොවිය යුතුය යන්න දැක්වීමට මෙම වාර්තාව උත්සාහ කර තිබීමද පැසසිය යුතු අතර සිංහල වාර්තාවේ ලිංග බේද අනන්‍යතාවය යනුවෙන් එය දක්වා තිබීමෙන් රජය අපේක්ෂා කරන්නේ කුමණ අපභ්‍රංසයක් ගැනද යන්න පැහැදිලි නැත. එහෙත් මිනිසුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළව සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම අවම කිරීම සඳහා සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජයේ කැපවීම අපි අගය කරමු. එමෙන්ම අප විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම වැසියන්ට බියෙන්, සැකයෙන් තොරව හා හිංසනයෙන් හෝ වෙනස්කොට සැලකීම්වලට ලක්වීමෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය නිදහස් ජීවිතයක් තිබිය යුතුය. මෙහිදී අප විසින් සියලුම වැසියන් යනුවෙන් අදහස් කළේ ලිංගික දිශානතිය මත පදනම්ව සමරිසි ප්‍රජාවද ඇතුළත්වය. එහෙත් අවාසනාවකට මෙන් මානව හිමිකම් ආරක්ෂණය හා ප්‍රවර්ධනය සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් සමරිසි ප්‍රජාව අමතක කර ඇත. කෙටියෙන්ම පැවසුවහොත් හලා දමා ඇත. සමිරිසි ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව සමග අප විසින් දෛනිකව සිදුකරන්නාවූ විවිධ ව්‍යාපෘති හා ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වන යථාර්ථය නම් එම ප්‍රජාව ඔවුන් ආදරය කරන්නේ කාහටද යන කරුණ මත දෛනිකව විවිධ තර්ජන හා අවදානම් යටතේ ජීවත්වන බවයි. මෙවැනි අවදානම්වලට ලක්වන ප්‍රජාවද අනෙක් වැසියන් මෙන්ම රටක මානව හිමිකම් ආරක්ෂණ යාන්ත්‍රණ යටත් ආරක්ෂා විය යුතු බව අපගේ හැඟීමයි.
“මානව හිමිකම් සියල්ලන්ටම ” යන අර්ථයෙන් සලකා බලමින් ශ්‍රී ලංකා රජය විසින් සිදුකරගත් මෙම අතපසුවීම හෝ හිතාමතාම අතපසුකිරීම නිවරැදි කරමින් ලිංගික දිශානතිය මත පදනම්ව මිනිසුන් වෙනස්කොට සැලකීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබනු ඇතැයි අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම අප සතුටුවන්නේ සංක්‍රාන්ති සමාජභාවීය හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නව ව්‍යවස්ථා සම්පාදන යෝජනා මගින් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස්කම් සිදුනොවිය යුතු බව දක්වා සිටීම සම්බන්ධයෙනි. මෙම වාර්තාවේ ලිංගබේද අනන්‍යතාවය යනුවෙන් දක්වා ඇත්තේ සංක්‍රාන්ති සමාජභාවය යයි අපි විශ්වාස කරමු. ප්‍රතිපත්තිමය වශයෙන් මෙම තීරණය ශ්‍රී ලංකාවේ වාසය කරන සංක්‍රාන්ති ලිංගිකයන් හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුවන හිංසන හා මානව හිමිකම් කඩවීම් වැළැක්වීම සඳහා ආරම්භක පියවරක් වශයෙන් වැදගත් වනු ඇත. එහෙත්, අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා රජය තම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීමේදී ඔවුන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවලදී ලබාදුන් පොරොන්දු හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සංවිධානවලට ලබාදුන් වාර්තා යනාදියත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් යෝජනා කළ යෝජනාවන් යනාදියත් සැලකිල්ලට ගෙන නැත. විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතින්ගේ කාල දර්ශක සමාලෝචනය (Universal Periodic Review of Sri Lanka – A/HRC/WG.6/28/LKA/1,Section IV:Ap7) සඳහා වන ශ්‍රී ලංකා වාර්තාවේ දක්වා ඇති ආකාරයට ශ්‍රී ලංකා රජය දණ්ඩනීති සංග්‍රහයෙහි එන ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තැනැත්තන් අතර සිදුවන බරපතල අශෝබන ක්‍රියා, අස්වාභාවික කාමුක සංසර්ගය වැනි නිසිලෙස අර්ථකථනය නොවූ විහිළු සහගත නීති වන 365 හා 365 අ වගන්ති ඉවත්කිරීමට හෝ වෙනස්කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව යෝජනා වී තිබුණි. එමෙන්ම දණ්ඩනීති සංග්‍රහයේ එවැනි සංශෝධන මගින් ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන වෙනස්කොට සැලකීම් තුරන්කිරීම සඳහා අවශ්‍ය පියවර ගතයුතුව තිබුණි. එහෙත් ශ්‍රී ලංකා රජය 2017-2021 වර්ෂ සඳහා තම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීමේදී ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන වෙනස්කොට සැලකීම් වැළැක්වීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම මඟහැර ඇත. එමගින් මෙම රජය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටි සමරිසි ප්‍රජාව මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අප තුළ තිබිය යුතු විශ්වසනීයත්වයද රජය විසින් විනාශ කර ගෙන ඇත.
එමෙන්ම 2017-2021 වර්ෂ සඳහා වූ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික -ක්‍රියාකාරී සැලැස්ම මගින් යෝජනා කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 3.1.2 කොටස මගින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්බන්ධ වගන්ති වෙනස්කළ යුතු බව යෝජනා කර තිබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්ති මගින් පෞද්ගලික ස්ථානයකදී සිදුවන සමරිසි ක්‍රියාකාරකම් ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන නිසා පෞද්ගලිකත්වයට ඇති අයිතිය ව්‍යවස්ථාව මගින් තහවුරු කිරීමේදී ලිංගික දිශානතියද සලකනු ඇත්ද යන්න පිළිබඳ අපි සැක පළ කර සිටින්නෙමු. මන්ද වර්තමානයේ රජයේ හැසිරීම දෙස බලනවිට පොදු සමාජ කාර්යයන් පසෙලකා ඇමතිවරුන් පෝෂණය කිරීම හා පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම පමණක් දක්නට ඇති අතර මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය තහවුරු කිරීමට තරම් කැක්කුමක් ඇති බව පෙනෙන්නට නැත. මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මේ 6.6.4 කොටසට අනුව සෞඛ්‍ය සේවාවන් ලබාදීමේදී ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කම් සිදුනොවිය යුතු බව දක්වා තිබේ. මෙමගින් පෙන්නුම් කරන්නේ අඩුම තරමින් රජය සෞඛ්‍ය සම්බන්ධ කරුණුවලදී හෝ ලිංගික දිශානතිය මත පදනම්ව සේවාලාභීන්ට කිසියම් හෝ ආකාරයකින් වෙනස්කම් සිදුවන බව අවබෝධ කරගෙන තිබෙන බවයි. එහෙත් මෙම වෙනස්කොට සැලකීම් පිළිබඳව අධීක්ෂණය කිරීම හෝ ඒවා පාලනය කිරීමට කිසිදු ආකාරයක ආයතනයක් හෝ නියාමනයක් ඉදිරිපත් කර නොතිබීම ගැටළුවකි. එම නිසා අප විසින් අවධාරණය කර සිටින්නේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන වෙනස්කම් වැළැක්වීම සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කරන තාක්කල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වැළැක්වෙන්නේ ද නොමැති බවයි.
ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන පරිදි මෙම මානව හිමිකම් අරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම. ප්‍රවර්ධනය කිරීම හා සවිබල ගැන්වීම සම්බන්ධයෙන් වන ධනාත්මක හා ප්‍රගතිශීලී මුලපිරීමකි. එහෙත් මෙම වාර්තාවේ ප්‍රගතිශීලීභාවය පිළිබඳව ප්‍රශංසා කරන අතරතුරම අප විසින් කිව යුතුව ඇත්තේ ශ්‍රී ලංකා රජය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සම්බන්ධ වන නිර්දේශ පිළිපැදීමට අපොහොසත්වී ඇති බවයි. සිවිල් සංවිධාන හා විවිධ සමාජ කණ්ඩායම් විසින් රජයෙන් ඉල්ලා සිටි සමහර ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුව ඔවුන්ගේ 61වන සැසි සමාලෝචනයේදී දැක්වූ ආකාරයට (E/C.12/LKA/CO/5 Sec C:14 p4) ඔවුන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර සිටියේ “වෙනස්කොට සැලකීම් අවම කිරීම සඳහා ව්‍යවස්ථාවේ 12(2) වගන්ති පුළුල් කරමින් එයට ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කිරිම් සිදුනොවිය යුතු බව දක්වන ලෙසයි. එහෙත් දැන් දැන් පෙනෙන්නට තිබෙන්නේ සියලුම මිනිස්නුට මානව හිමිකම් යනුවෙන් පවසමින් සමරිසි ප්‍රජාව පමණක් තනිකරගෙන මඩුවලිගයෙන් ගසන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවය.
මෙම සියලු අදහස් දැක්වීම් හා සාකච්ඡා මගින් පෙනී යන්නේ තවමත් ශ්‍රී ලංකා රජය ලිංගික දිශානතිය මත පදනම්ව සමාජයේ විවිධාකාරයෙන් හිරිහැරයට ලක්වන සුළුතර ලිංගික ප්‍රජාව ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සංවේදීභාවයක් ඇතිකරගෙන නොමැති බවයි. එහෙත් අප විශ්වාස කරන්නේ සමාජ ප්‍රගමනයට, රටේ සංවර්ධනයට හා ශ්‍රම බලකායට අයිති වන ඔවුන්ද අනෙක් මිනිසුන් හා සමානව සැලකුම් ලැබිය යුතු බවයි. නිදහසේ ජීවත්වීමට හා තමන් කැමති අයෙකුට ආදරය කිරීමට සමරිසි ප්‍රජාවට ඇති අයිතිය මෙන්ම වෙනස්කොට සැලකීමෙන් හෝ හිංසනයට ලක්වීමෙන් වැළකිමේ අයිතියද ඔවුන්ට ලැබිය යුතුය. වසර 134ක් පැරණි මුග්ධ නීතියකට යටත්වී ජීවත්වීමේ කාලය දැන්වත් අවසන්විය යුතුය. සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවේ (LGBTIQ) සියලුම දෙනාටම මානව හිමිකම් භුක්ති විඳීමේ මෙන්ම වෙනත් අයගේ හිරිහැරවලින් මිදී ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්කළ යුතු බවයි. ජනාධිපතිතුමණි, අගමැතිතුමණි මානව හිමිකම් වාර්තාවලට මොන අභිමානයෙන් ප්‍රකාශ ලබාදුන්නද පොරොන්දු ඉටු කිරීමට නොහැකි නම් නොදී සිටින්න. ඔබ විසින් දියකර හරින්නේ ඔබේම රටේ මිනිසුන් කොටසකගේ ජීවිතය සම්බන්ධ බලාපොරොත්තු බව මතක තබාගන්න.
තුෂාර මනෝජ්
ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ව්‍යාපෘති නිලධාරී
0 comments :
Post a Comment